
(තිලකරත්න දිසානායක)
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂණයන්ට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 101 දෙනා අතුරින් ඥාතී සමීපතමයින් දෙදෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කෙරෙන කන්දකාඩු මධ්‍යස්ථානයෙහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ගම්පහ, වැරැල්ලවත්ත පදිංචි උපදේශකවරයෙකු සහ ඔහුගේ රියදුරු ලෙස කන්දකාඩු මධ්‍යස්ථානයට ගිය බණ්ඩාරවත්ත පදිංචිකරුවෙකුගේ ආශ්‍රිතයින් ඇතුළු ගම්පහ අධිකරණයෙහි පිරිසක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගනු ලැබීය.
මෙහිදී ආශ්‍රිතයින් 101 දෙනෙකු පරීක්ෂාවට ලක්කළ අතර, එහි වාර්තා අනුව අධිකරණයෙහි පිරිස අතුරින් කිසිවෙකුටත් වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබේ. එහෙත් බණ්ඩාරවත්ත පදිංචි ආසාදිතයාගේ සමීපතමයින් දෙදෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇතැයි වෛද්‍ය සුභසිංහ මහතා සඳහන් කළේය.
මෙම සමීපතමයින් බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත යන ප්‍රදේශයන්හි පදිංචි 63 හැවිරිදි තැනැත්තියක් සහ 45 වියැති පුද්ගලයෙකු වන අතර මෙම දෙදෙනා රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනෙකි. මෙම දෙදෙනා ඊයේ (17) රාත්‍රියේම ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කීය.
කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරුවී සිටින වැරැල්ලවත්තේ පදිංචි 45 හැවිරිදි තැනැත්තා ගම්පහ නගරය ආශ්‍රිත අර්ධ රාජ්‍ය විදුහලක ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නෙකු බවත් මෙම අය විසින් උපකාරක පන්ති කිහිපයක භෞතික විද්‍යාව විෂය උගන්වා ඇති බවත් අනාවරණයවී ඇති බවද වෛද්‍ය සුභසිංහ මහතා පැවසීය.
බණ්ඩාරවත්ත පදිංචි ආසාධිතයා නඩු කටයුත්තක් සඳහා ගම්පහ අධිකරණ ශාලාවක් වෙත ඉකුත් 6 වෙනි දින ගොස් ඇති බැවින් එම අධිකරණයෙහි අට දෙනෙකු පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගනු ලැබීය.
මේ අතර බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත ආසාදිතයින් දෙදෙනාගේ සමීපතමයින් ඉකුත් 14 වෙනි දින සිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් උපකාරක පන්තිවලට සහභාගිවූ පිරිස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
තවද රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් විසින් උපකාරක පන්තිවලට සහභාගි වූ සිසු සිසුවියන් හඳුනාගැනීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ පවුල්වල සහ ආසාදිතයින් බවට හඳුනාගත් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ද නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

