ගන්දර බැංකුව කොල්ලකයි



(ක්‍රිෂාන් ජීවක ජයරුක්)                  

               
ගන්දර පරවාහැර සණස බැංකුව තුළට මුහුණු ආවරණය කර ගෙන කඩා වැදී ඇති අවිගත් පුද්ගලයින් සිව් දෙනෙකු ගනුදෙනු කිරීමට පැමිණ සිටි කාන්තාවකට වෙඩි තබා තුවාල සිදුකර බැංකුවේ තිබු රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් අද (21) සවස මංකොල්ල කා පලා ගොස් ඇතැයි ගන්දර පොලීසිය පවසයි.


තම දියණිය සමඟ බැංකුවට පැමිණ සිටියදී වෙඩි වැදීමට ලක් වු 60 හැවිරිදි කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.


ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීම සදහා නියමිතව සිටින බව එම රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.


යතුරුපැදි දෙකකින් පැමිණ ඇති කොල්ලකරුවන් සිව් දෙනා පළමුව සේවක සේවිකාවන් බිය ගන්වා දෛනිකව තැන්පත් වු මුදල් බලහත්කාරයෙන් ලබා ගෙන ඇත.


ඒ අතරතුරදී ඔවුන් වෙඩි තබමින් බැංකුවේ සේප්පුවේ රහස් අංකය කරකවමින් එය විවෘත කිරීමට උත්සාහ කර තිබෙන බව පොලීසිය කියයි.


රහස්අංකය ඉල්ලා තර්ජනය කර ඇතත් නිවැරදි අංකය නොලැබීම නිසා සේප්පුව විවෘත කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.


එහිදී එල්ල වු වෙඩි ප්‍රහාරයෙන් ගනුදෙනු කිරීම සඳහා පැමිණී කාන්තාව තුවාල ලබා තිබෙන බව කියති.
මෙම සිද්ධිය වන විට බැංකුව තුළ එහි කළමණාකරු සමඟ සේවිකාවන් තිදෙනෙකු ද ගනුදෙනු කිරීමට පැමිණී කාන්තාවන් තිදෙනෙකු ද සිට ඇති බව දැනගන්නට ඇත.