ගත වූ සිව් දින තුළ චීනයේ සිටි ලාංකික සිසුන් 559 ක් ලංකාවට ඇවිත්


( තිළිණි ද සිල්වා )

 චීනයේ රැදි සිටි ශ්‍රී ලාංකික සිසුන් 559 දෙනෙකු ගතවූ  සිව් දින තුළදී මෙරටට පැමිණ ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

 ඒ අනුව මෙලෙස දිවයිනට පැමිණියේ  බීජිං අගනුවර ඇතුළු අනෙකුත් සෙසු නගර වල ඉගෙනුම ලබමින් සිටි සිසුන් යැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.
 
මෙම පිරිස ඉකුත් 27 වැනිදා සිට අද (30) දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත් යානා වලින් හා වෙනත් ගුවන් සේවාවන්ට අයත් යානා වලින් පැමිණි බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සදහන් කළාය.
 
මීට අමතරව කොරෝනා වෛරස් රෝගය පැතිර යාම ආරම්භ වූ චීනයේ  වූහාන් නගරයේ සිටින ලාංකික සිසුන් 33 දෙනෙකු   යළි මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සදහා තවමත් චීන බලධාරීන් ගේ නිසි අවසරය චීනයේ  බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී නොමැති බවද ඇය සදහන් කළාය.
 

මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට අවසරය ඉල්ලා ඉකුත් 26 වැනිදා  අයැදුම්පතක් චීන රජයේ බලධාරීන්ට ඉදිරිපත් අතර , එම අවසරය ලැබුණු වහාම ඔවුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සිදු කරන බවද එම අමාත්‍යාංශ ප්‍රකාශිකාව සදහන් කළාය.
 
 එතෙක් එම පිරිස සිය උසස් අධ්‍යාපන කටයුතු වල නිරත නේවාසිකාගාර වල රැදී සිටින අතර ඔවුන්ගේ දෛනික අවශ්‍යතා කටයුතු බීජි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සොයා බලමින් සිටින්නේ යැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
 
කොරෝනා වෛරස් රෝගය පැතිර යාම ආරම්භ වූ චීනයේ  වූහාන් නගරයේ සිටින ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 32 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට දැනට සිටින ස්ථානවලින් පිටතට යාමට අවසර ලබාදුන් විගසල මෙම ගුවන් යානය ගොඩ බැස්සවීම ක්‍රියාවලිය කඩිනම් කිරීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ විදේශ අමාත්‍යාංශය සහ වූහාන් ප්‍රාන්තයේ විදේශ කටයුතු කාර්යාලය සමග සමීපව කටයුතු කරන බවද විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.
 

චීනයේ සිටින අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබදතා අමාත්‍යාංශය,  බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැන්හයි හා ග්වැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.