ගජමුතු 6 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට


(උපුල් තම්මිට)
 
මිළකල නොහැකි වටිනා ගජමුතු හයක් රැගෙන යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු පරසන්ගහවැව පොළිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
පරසන්ගහවැව පොළිසියේ දූෂන මර්දන ඒකකයේ නිළධාරීන් හට මීට දින කිහිපයකට පෙර ලැබුණු තොරතුරක් මත බුද්ධි නිළධාරීන් යොදවා සිදුකල විමර්ශනයකදී සැකකරු මෙම වටිනා ගජමුතු අලෙවි කිරීම සදහා රැගෙන යාමට නියමිත බවට ලැබී තිබුනු තොරතුරු මත පරසන්ගහවැව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේදී ඊයේ සවස සැකකරු අත් අඩංගුවට ගෙන සිදුකල ශරීර පරීක්ෂාවේදී සැකකරුගේ ඉනවටා ලේන්සුවක ඔතා රහසිගතව සගවාගෙන සිටි ගජමුතු සොයා ගැනීමට හැකිවී තිබේ.
 
එක සමාන ප්‍රමානයන්ගෙන් යුත්  ගජමුතු ජෝඩු තුනක් මෙහිදී දක්නට ලැබෙන අතර එම ගජමුතු හස්තීන් තිදෙනෙකු ඝාතනය කර ලබාගත් ඒවාට බව සැක පළකරති.  
 
අත්අඩංගුවට පත් සැකකරු පරසන්ගහවැව ගම්මානයට නුදුරු අලුත්ගම ගම්මානයේ පදිංචිකරුවකු වන අතර සැකකරුට මෙම වටිනා ගජමුතු ලැබුනු ආකාරය පිළිබදව සිදුකල විමර්ශනවලදී  හෙළිවී ඇත්තේ දුරකථනයෙන් හදුනා ගත් ගල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම ගජමුතු සැකකරුට ලබා දී ඇති බවය.සැකකරු සිදුකල ප්‍රකාශ අනුව විශේෂ පොළිස් කණ්ඩායමක් මේවනවිට ගල්ගමුව ප්‍රෙද්ශයට ගොස් ඇති අතර සැකකරු අද (16) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
පරසන්ගහවැව පොළිස්ස්ථානාධිපති ප්‍රධාන පොළිස් පරීක්ෂක චන්දික සිරිකාන්ත මහතාගේ මෙහෙයවීම මත මේ පිළිබදව පුලුල් පරීක්ෂනයක් ආරම්භ කර තිබේ.