කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර රන් භාණ්ඩ , මැණික් හා මුදල් කොල්ල කෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවසර ලබා දුන්නේය.

එම සැකකරුවන් දෙදෙනා හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස රඳවා ගැනීමේ නියෝග ගනු ලැබුවේ ගිරිතලේ යාය 3 පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු වූ රන්කොත් ගෙදර දිනේෂ් මහින්ද කුමාර නැමැති 32 හැවිරිදි සහ ආරච්චි කට්ටුව ජූඩ් සුජිත් පීරිස් නැමැති 25 හැවිරිදි යන දෙදෙනායි.

ඉකුත් 06 වැනි දින කැස්බෑව මාවිත්තර ගුරු ගම්මාන පාරේ හෝටල් හිමිකරුවෙකු වූ ප්‍රසන්න සාගර කුමාර කෝටිපති ව්‍යාපාරිකයාගේ හිසට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර දේපල කොල්ල කෑම සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි .

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධිකරණ කටයුතු භාර උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මහතා විසිනි.