කෝටි දෙකහාමාරක දුම්වැටි පන්නන්න බැරිවෙයි


(යොහාන් භාසුර සහ ටී. කේ. ජී. කපිල)

නීති විරෝධි ලෙස ආනයන කළ රුපියල් කෝටි දෙකහාමාරක් පමණ වටිනා සිගරැට් ලක්‍ෂ තුනකට ආසන්න තොගයක් රේගු මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශය අද (23) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

චීනයේ සිට ආනයනය කළ අඩි 40 බහාලුමක් පරීක්‍ෂා කිරීමේදී මළු 60 ක සූක්‍ෂම ලෙස සඟවා තිබියදී චීනයේ නිෂ්පාදිත සිගරැට් 276,000 සොයාගත් බවත් ගෙලිඔය ප්‍රදේශයේ ආයතනයක නමින් යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් ලෙස හඟවමින් මෙම බහලුම ආනයන කර තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම බහලුමේ යන්ත්‍රා්පකරණ අඩංගු මාළු 1415 ක් අඩංගු බවට රේගුවට දැනුම්දී තිබූ බවත් මෙම සිගරැට් තොගය රේගුවෙන් නිදහස් වූයේ නම් රජයට රුපියල් කෝටි දෙකකට අධික ආදායමක් අහිමිවීමට ඉඩ තිබූ බවත් රේගුව පැවසීය.

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශය මෙම සිගරැට් තොගය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.