( +++ ඩයනා උදයංගනී)
ඉකුත් රජය සමයේ සිදුකළ මාර්ග ඉදිකිරීම් හා සංවර්ධනය කිරීම් වෙනුවෙන් කළයුතු ගෙවීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පාර්ශ්වයන්ට නිසි පරිදි නොගෙවීම නිසා මහා මාර්ග අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 2500 ක් පමණ ගෙවීමට තිබෙන බව මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ඊයේ (1) පැවසීය.
මාර්ග ඉදිකිරීමේ හා පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් 2015 වසරෙන් පසු පවරාගත් ඉඩම් සඳහා ගෙවිය යුතු මුදල් රුපියල් කෝටි 950 ක් තිබෙන බව කී ඇමතිවරයා එම ගෙවීම් ප්‍රමාදවීම නිසා ඉඩම් හිමියන්ට සියයට 7 ක පොලී මුදලක්ද ගෙවීමට සිදුව ඇති බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් පවරාගත් ඉඩම් වෙනුවෙන් කළ යුතු ගෙවීම් සියල්ල එම රජය සමයේද අවසන් කර තිබූ බවත් පසුගිය රජය එසේ නොකිරීමෙන් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.
පසුගිය කාලයේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නැංවූ ‘රන් මාවත්‘මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට කළයුතු ගෙවීම් ද රුපියල් කෝටි 1,500 ක් තිබෙන බව ඇමතිවරයා කීවේය.
මැතිවරණය ඉලක්ක කරගනිමින් පසුගිය රජය එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇතත් කොන්ත්‍රාත්කරුවන්ට කළ යුතු ගෙවීම් කර නොමැති බවද ඇමතිවරයා පැවසීය.
මෙවැනි කටයුතු වලින් පසුගිය රජය විශාල මුදල් නාස්තියක් කර තිබෙන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙවැනි දේ නිසා භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිරවී තිබෙන බව කී ඇමතිවරයා එය සැඟවීමට අවශ්‍ය නැති බවද කීවේය.

