කෝටි 12 ක අල්ලසේ රේගු ලොක්කන් හතරට නඩු


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් රේගු අධිකාරිවරුන් සිව් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන මෙම රුපියල් කෝටි දොළහ හමාරේ අල්ලස් මුදල ඉල්ලාලබාගැනීම කුමන්ත‍්‍රණකාරීව සිදු කළ බව ඇතුළු චෝදනා 16 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමග එවකට එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැලකෙන මෙම රුපියල් කෝටි 12 ½ ක අල්ලස් මුදල ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස මහත්වරුන්ය.

2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝබර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පංචිකාවත්තේදී රුපියල් මිලියන 150 ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමග එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.

එම කුමන්ත‍්‍රණයට අනුව අවස්ථා කිහිපයකදී පැමිණිලිකරුගෙන් අල්ලස් ඉල්ලීම ඒ අනුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125 ක මුදලක් ලබාගත් බවට මෙන්ම සෙසු විත්තිකරුවන් ඊට ආධාර සහ අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා ඉදිරිපත් කර තිබේ.

රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලීම සම්බන්ධයෙන් මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකු වන බන්ධුසේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබිණි.

පැමිණිලිකරු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වීමේදී රජයට අඩුවෙන් බදු මුදල් ගෙවා ඇති බව සඳහන් කරමින් පැමිණිලිකරුගේ ගබඩාව පරීක්ෂාවට භාජන කර ඇති බවත් එහිදී නිසි අන්දමට මෙම භාණ්ඩ ගණනය කළහොත් රුපියල් මිලියන 300 ක පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුවනු ඇති බව පවසා එය අඩුවෙන් ගණනය කර රජයට අඩුවෙන් බදු මුදල් ගෙවීමට සලසා දීම සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් විත්තිකරුවන් විසින් මුල් අවස්ථාවේදී ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

රුපියල් මිලියන 150 ක මුදල ඉල්ලීමේ සිද්ධියෙන් පසුව පැමිණිලිකරු අවස්ථා ගණනාවකදී විත්තිකරුවන් සමග සාකච්ඡා කර අල්ලස් මුදල රුපියල් මිලියන 125 දක්වා අඩු කරගෙන ඇති බවත් ඉන් අනතුරුව 2015 ඔක්තෝබර් මස 15 වැනිදා රුපියල් මිලියන 125 ක මුදලක් පැමිණිලිකරුගේ ව්‍යාපාරික ස්ථානයේදී ලබාගන්නා අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනකුත් ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී සෙසු විත්තිකරුවනුත් අත්අඩංගුවට ගෙන ඇතැයිද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන හා සාක්කිවලට අමතරව හඬපට සහ රූප දර්ශන සහිත වීඩියෝ පටද සාක්කිලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත.