( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම් පත්‍රය සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ රියදුරු පාසල් හිමියන්ගේ සංගමය ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.
මෙම පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බවද අධිකරණ තීන්දුවේ සදහන් වේ.
කොළඹ දිස්ත්‍රික් රියදුරු පාසල් හිමියන්ගේ සංගමය , එහි සභාපති ඒ.එන් .ජයන්ත මහතා විසින් ගොනු කොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඇතුළ පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කාර සංගමය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ රියදුරු පාසල් හිමියන් 60 කට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති. එම සංගමයේ සභාපතිවරයා ද රියදුරු පාසල් හිමිකරුවෙකි.ඉදිරිපත් වූ කරුණු අනුව 2017 මැයි මාසයේදී මෝටර් රථ වාහන පනතේ අට වැනි රෙගුලාසි අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී ඉදිරිපත් කරන අයදුම් පත්‍රය සමග සෑම අයෙකුම රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කර ඇත.
එහෙත් පසුව එම තීරණය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් වෙනස් කර තිබේ.ඒ හේතුවෙන් අගතියට පත් පෙත්සම්කරුවන් විසින් මෙම රිට් පෙත්සම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකය අනිවාර්ය නොකිරීමට ගත් තීරණය බලශූන්‍ය කර , එම සහතික අනිවාර්ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
මෝටර් රථ ප්‍රවාහන පනත අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයකු රියදුරු පුහුණු පාසලට ඇතුළත්ව පුහුණුව ලබා ගත් බවට සහතිකයක් ඉදිරිපත් කිරීමට අනිවාර්ය අවශ්‍යතාවයක් බව සදහන් කර තිබේ.
එම නිසා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපෙක්ෂ කරන්නෙකු සිය අයදුම්පත සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමට එකගවන බවද අධිකරණ තීන්දුවේ සදහන් වේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රධාන තර්කය වන්නේ ප්‍රවාහන පනතේ රෙගුලාසි අංක අට අනුව රියදුරු බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේදී අයදුම්පත සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර නොමැති බවත් , එවැනි අනිවාර්ය කිරීමක් කළහොත් එය පනතේ ප්‍රතිපාදන අභිබව යෑමක් සිදුවන බවත්ය.
ඒ අනුව මෙම රිට් පෙත්සම මගින් ඉල්ලා ඇති සහන ලබා දීමට නීතිමය පදනමක් නොමැති බවත් , පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන බවටද තීන්දුවේ සදහන් වේ.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ විශ්ව ගුණරත්න මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ . ආචාර්ය චාරුක ඒකනායක සමග අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරුන් පෙනී සිටියහ.

