( තිළිණි ද සිල්වා)
කොළඹ සිට යාපනයට නව ගුවන් සේවාවක් හෙට (1) සිට ඇරඹෙන බව කාර්මික අපනයන අයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පළමු ගුවන් යානය හෙට (1) උදෑසන පෙ.ව. 7.30 රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය බලා ගමන් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක්, යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන් සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
කොළඹ සිට යාපනයට ගමන් කිරීම සදහා එක් මගියකුගෙන් රු 7500 ක් අයකරනු ලැබේ. ඒ අනුව කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹ පැමිණිම සඳහා එක් මගියකුගෙන් රු 15,000 ක් අයකරගනී.
මීට පෙර යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේ දී එක් මගියකුගෙන් ඒ සඳහා රුපියල් 33,000 ක් අය කෙරිණි.
ෆිටිස් ගුවන් සමාගම මෙම ගුවන් ගමන් මෙහෙයවන අතර ATR 72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙන යා හැකි ගුවන් යානයක් සමාගම විසින් මේ සඳහා යොදවන බව රත්මලාන ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන්තොටුපළ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා සඳහන් කර සිටී.
සෑම සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.
රත්මලාන ගුවන්තොටුපලෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපළට ළගා වනුයේ පෙ.ව. 8.30 ටය. නැවතත් පෙ.ව. 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිත බව ගුවන්තොටුපළ කළමනාකරු පැවසීය.
රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙය ක්‍රියාත්මක බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා කීය.
ඒ අනුව යාපනය, මඩකලපුව, මත්තල, කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ද අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇත. යාපනය පලාලි නව අභ්‍යන්තර ගුවන් සේවය ආරම්භ කෙරෙන්නේ ද මෙම ප්‍රතිපත්තියට අනුව බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
2002-2004 කාලයේදී යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරුණු අතර, පසුගිය යුද ගැටුම් පැවති සමයේදී ලයන් එයාර් ගුවන් යානයක් කඩා වැටිමේ සිද්ධියත් සමඟ යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් සම්පුර්ණයෙන්ම නතර විය.
2009 යුද ජයග්‍රහණයෙන් පසු නැවත යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළ අතර A-9 මාර්ගය විවෘත වීමත් සමඟ මගීන් වැඩි වශයෙන් එම මාර්ගය භාවිතා කිරීමෙන් අභ්‍යන්තර ගුවන් ගමන් අඩාල වූ බව අමාත්‍යාංශය සදහන් කරයි.
යාපනය කොළඹ අතර එම කාලයේදී අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කෙරුණේ මගීන් 12 කට පමණක් යා හැකි කුඩා ගුවන් යානයකි. ඒ අනුව මගීන් 70 ක් එකවර ගෙන යා හැකි ගුවන් යානයක් නියමිත කාල සටහනකට අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සදහා යොදවන මෙරට පළමු අවස්ථාව ද මෙය වේ.

