කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලීය දූලි අංශු ඉහළට


(ඩයනා උදයංගනී)

කොළඹ නගරය ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප‍්‍රමාණය මේ දිනවල යළිත් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊසාන දිග මුහුදු ප‍්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දෙසට හමා එන සුළං ධාරා ඔස්සේ පැමිණෙන දූවිලි අංශු වැඩිවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇතැයි එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට පැවසීය.

මෙහි වැඩි බලපෑමක් කොළඹ නගරයට එල්ල වී ඇති අතර ඊට අමතරව යාපනය, වව්නියාව, අනුරාධපුරය, පුත්තලම, මහනුවර සහ කුරුණෑගල යන නගරවල ද වායුගෝලයේ දූවිලි අංශු ඉහළයාමක් දක්නට තිබෙන බව ඔහු සඳහන් කළේය.

මෙම නගරවල වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණය අද (28) දිනයේදී සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබූ අතර හෙට (29) දිනයේදී එය තරමක් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.