කොල්ලකරුගේ පොලු පහරින් කාන්තාවක් මරුට



 
 
(ජේ.කේ.එල් චාමින්ද)
   
නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු විසින් පොල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 71 හැවිරිදි කාන්තාවක්  අද (20) දහවල් මිය ගොස් ඇති බව අක්මිමන පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ වළහන්දුව දිසානායක මාවතේ පදිංචිව සිටි තැනැත්තියකි. 


ඉකුත් 8 වැනි දා  මියගිය  කාන්තාව  නිවසේ සාලයේ සිව් හැවිරිදි  දරුවකු සමඟ සිට තිබේ.  එදින කොල්ලකරු මෙකී නිවසේ දේපල කොල්ලකෑමට පැමිණ ඇති බවත් එහිදි  මෙකී කාන්තාව විසින් කොල්ලකරු හඳුනාගත් නිසා ඇයට පොල්ලකින් පහරදී ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.


කොල්ලකරුවන් නිවසට ඇතුළු වී නිවසේ තිබු  රුපියල් 40,000ක් පමණ වටිනා මුදු දෙකක්, රුපියල් 10,000ක් වටිනා කරාබු ජෝඩුවක්, රුපියල් 60,000ක් වටිනා රන් වළල්ලක් හා රුපියල් 30,000ක් වටිනා රන්මාලයක්, රුපියල් 10,000ක් වටිනා පංචායුධයක් කොල්ලකා තිබිණි. 


පොලිස් බුද්ධි විශේෂ කාර්යංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරු ඉකුත් 17 වැනි දා කොල්ලකනු ලැබු රන් භාණ්ඩ සමඟ  අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් කොල්ලකරු 21 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මත්කුඩුවලට ඇබ්බැහිවු අයකු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.