කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂාවීමට උපදෙස් මාලාවක්


(ඩයනා උදයංගනී)

මේ වන විට සීඝ්‍රයෙන් ලෝකය පුරා පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂාවීම සඳහා වන උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති උපදෙස් ඇසුරින් මෙම උපදෙස් මාලාව සකස් කර ඇති බවත් ශ්‍රී ලංකාවේ දැනට මෙම රෝගීන් නොමැති වුවත් ජනතාව මෙම උපදෙස් අනුගමනය කිරීම සුදුසු බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රචාර) ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාසෝම මහතා පැවසීය.

ඒ අනුව නිතර සබන් යොදා දෑත් සේදීම, පොදු ස්ථානවල ගැවසෙන අවස්ථාවල මුහුණ, කට, නාසය හා ඇස් ස්පර්ශ නොකිරීම, කැස්සකදී හෝ කිවිසුම් යන අවස්ථාවලදී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියකින් හෝ වැළමිටෙහි ඇතුල් පැත්තෙන් මුඛය හා නාසය ආවරණය කරගැනීම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්‍ෂණ ඇත්නම් ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටීම, වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා ගතවූ දින 14 ක කාලයේ දී විදෙස් සංචාරවල නිරත වී ඇත්නම් වෛද්‍යවරයා ඒ ගැන දැනුවත් කිරීම කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.