කොරෝනා අසාදිතයාට සේවය සැපයූ සම්බාහන මධ්‍යස්ථානයක තරුණයෙක් රෝහලට


(කාංචන කුමාර ආරියදාස)
 
පළමු ශ්‍රී ලාංකික කොරෝනා වයිරසය අසාදිත පුද්ගලයාට  සේවය සැපයූ  හබරණ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තරුණයෙකු (30)  හදිසියේ රෝගාතුර වීමෙන්  හබරණ පොලීසියේ  මැදිහත්වීමෙන් අද ( 12) අනුරාධපුර මහ රෝහලට ඇතුළු කර තිබේ.
 
 හබරණ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු  සිය සේවා ස්ථානයේ සිටින තෙරපි නිලධාරියෙකු කොරෝනා වයිරසයේ  රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව හබරණ  පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. බී .ඩබ්ලිව්.රත්නායක මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව  ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කර තිබිණි.

කොරෝනා අසාදිත යැයි සොයා ගනු ලැබූ සංචාරක මග පෙන්වන්නා පසුගිය 26 වැනිදා  මෙම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර   තෙරපි නිලධාරියා ගෙන්  විනාඩි විස්සක පමණ සම්බාහන  සත්කාරයක් සිදු සිදුකරගෙන ඇති බව එහි හිමිකරු  පොලීසියට සඳහන් කර තිබේ.

අනතුරුව පොලීසිය සහ සෞඛ්‍ය  අංශ මැදිහත්වීමෙන් හබරණ  ඔහුගේ  නිවසට ගොස් නිවැසියන්ද දැනුම්වත් කර ඔහු රෝහලට රැගෙන යාමට උපදෙස් ලබා දී  ඇත.

මෙම පසුගිය දින කිහිපයෙහිම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ   යෙදී ඇතැත් ඒ පිළිබඳව නිසි තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකිවී නැතැයි හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.