කොරියාවෙන් යළි පැමිණෙන්නට පෙර රක්ෂණ හිමිකම් ලබාගන්නැයි ඉල්ලීමක්


 

(විනීතා එම් ගමගේ)

කොරියාවේ රැකියාවන්හි නියැලී සිට යළි මව්බිමට පැමිණීමට පෙර  රක්ෂණ හිමිකම් ලබා නොගත් ශ්‍රී ලාංකිකයන්ට එම හිමිකම් ලබා  ගැනීමට ඉදිරිපත් වන්නැයි ශ්‍රී ලංකාවේ කොරියානු රැකියා බලපත‍්‍ර මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

එම හිමිකම් ඇති 400 කට ආසන්න පිරිසකගේ නම් ලැයිස්තුවක්මේ වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට එක්කර ඇතැයි ශ්‍රී ලංකාවේ කොරියානු රැකියා බලපත‍්‍ර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ක්වක් හන්ජොන් මහතා කාර්යංශයේ අද (30) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

මෙම පිරිස හිමිකම් කියන්නේ ටෙජිකොම් නමින් හඳුන්වන රැකියාව අවසන් කර පැමිණීමේ රක්ෂණය හා එයා ටිකට් කොස්ට් නමින් හඳුන්වන ගුවන් ටිකට් පත සඳහා වන මුදල් පරිපූරණය කර ගැනීමේ රක්ෂණය යවන රක්ෂණ දෙකෙහි ප‍්‍රතිලාභ සඳහා වේ.

රක්ෂණය සඳහා හිමිකම් කියන 400 දෙනාගෙන් සමහරු මෙම රක්ෂණ ප‍්‍රතිලාභ දෙකටම හිමිකම් කියන බවත් සමහරු එකකට පමණක් හිමිකම් කියන බවත් හන්ජොන් මහතා කීවේය.

කාර්යංශ වෙබ් අඩවියේ නම් සඳහන් වේ නම් බත්තරමුල්ල ප‍්‍රධාන වීදියේ අංක 171/4 දරණ ස්ථානයේ දෙවන මහලේ පිහිටි කොරියානු මානව සම්පත් අංශයේ රැකියා බලපත් මධ්‍යස්ථානය වෙත පැමිණෙන්නැයි ද හන්ජොන් මහතා ඉල්ලා සිටියේය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ද කීය.

මේ වනවිට 25000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොරියාවේ නීත්‍යානුකූලව සේවය කරනවා. 2004 දි රැකියා බලපත් ක‍්‍රමය ආරම්භ වීමෙන් පසු සෑම වසරකම 5000  කට ආසන්න පිරිසක් කොරියාවට ගියා. රාජ්‍යයන් දෙක අතරේ අවබෝධතා ගිවිසුමක් මඟින් රැකියා බලපත‍්‍ර ක‍්‍රඹය කි‍්‍රියාත්මක වෙනවා.

කොරියාවේ සේවයට යන ශ්‍රී ලාංකිකයෙකුට එහි වසර හතරයි මාස 10 ක් සේවය කළ හැකියි. ඉන් පසු යළි මෙරටට පැමිණ මාස තුනකට  පසු යළි එහි යා හැක්කේ එරට සේවය කළ හාම්පුතා විසින් ඉල්ලනවා නම් පමණයි. නමුත් එහි දී ඔහු සේවය කර තිබිය යුතු එම මුළු කාලය තුළම එකම ස්ථානයක පමණයි.

එසේ නොමැති නම් කොරියාවේ සේවය කළ අය ආපසු යාමට කැමතිනම් ඒ සඳහා යළි විශේෂ විභාගයකට පෙනී සිටිය යුතුයි. එමෙන්ම  ඕනැම අයෙකුට කොරියාවේ රැකියා සඳහා යාමට හැක්කේ දෙවතාවක් පමණයි. එනම් අවුරුදු 9 මාස අටක උපරිම කාලයකට පමණයි. ඒ දෙවතාවක දීයි. ’’ යැයි ද ක්වක් හන්ජොන් මහතා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඞී ඞී පී සේනානයක මහතා ද සහභාගි විය.