කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී අයෙක් මරුට




(මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


මහරගම අඹගහ පුර සමාධි මාවතේ නිවසක කොන්ක්‍රීට් වලින් ඉදිකළ ඉස්තෝප්පුවක් අනාරක්ෂිත ලෙස කඩා ඉවත් කිරීමට යාමේදී කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් කම්කරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දැරණියගල පදිංචි චමින්ද අරුණ ප්‍රභාත් සිරිවර්ධන නම් 49හැවිරිදි  දෙදරු පියකු බව පොලීසිය කියයි.

පැරණි නිවසක් ඉදිරිපිට කොන්ක්‍රීට් වලින් ඉදි කර තිබූ ඉස්තෝප්පුවක් අද (12) සවස කඩා ඉවත් කිරීමට යාමේදි ඉන් කොටසක් එකම වරම  බිමට ඇද වැටීමත් සමග කම්කරුවාගේ සිරුර කොන්ක්‍රීට් තට්ටු දෙකකට සිරවීමත් සමග එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව පොලිසිය පවසයි .

ඒ අනුව  මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.එම්. ඩග්ලස්  මහතා එම ස්ථානයට පැමිණ පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය .

ඒ අනුව දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ෙහට (13) කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිසිය විසින් සිදුකිරීමට නියමිතය.