කොත්තු බාස් දැරියගේ මරණය ගැන වමාරයි


(සුමිත් පොතුපිටිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  සමන් කාරියවසම්)

බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි   ෆාතිමා අයේශා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කොත්තු හදන්නකු අත්අඩංගුවට ගත් බව පානදුර  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය  පවසයි .

බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි  28 හැවිරිදි අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ දැරිය කුකුල්මස් වෙළද සැලට ගොස් සිටියදී සැකකරුද අයිස් මත්ද්‍රව්‍ය පානය කොට එහි සිට ඇති බවත්, දැරියට පෙර සැකකරු  වෙළද සැලෙන් පිටවී ලදු කැලෑවක් අසල මගරැක සිට ඇති බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

දැරිය කුකුල් මස් රැගෙන නිවෙස බලා යද්දී  අසල තිබූ කැලයට ඇයව ඇදගෙන ගොස් දැරියගේ ශරීරය ස්පර්ශ කර ඇති බවත්,  එහිදී ඇය සැකකරු ගේ ග්‍රහනයෙන් මිදීමට උත්සාහ දරා විලාප නගා ඇති බවත් මෙතෙක් කළ පරික්ෂණවලින් හෙලිවූ බව ද පොලිසිය සඳහන් කරයි.  

දැරියගේ මුව තුළට රෙදි කැබැල්ලක් ඔබා තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදගෙන ගොස් අසල තිබූ මඩ වගුරකට තල්ලුකර ප්‍රාණය නිරුද්ධ වනතුරු එහි ගිල්වා දැරියගේ පිටට සිය දණහිස තබාගෙන තද කර ඇති බවත්  උසස්  පොලිස් නිලධාරීයෙක් කීය.

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)