කොටි සාමාජිකයෝ දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙති


(උපාලි ආනන්ද)

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පහර දී ගුවන් යානා 16ක් විනාශ කර රුපියල් කෝටි 400ක අනර්ථයක් සිදු කර ආරක්ෂක අංශ සාමාජිකයන් 14 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට  සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නගා ඇති අධිචෝදනාවන්ට ඉදිරියේදී අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩුව අවසන් කර ගැනීමට සූදානම් බව කොටි සංවිධානයේ හිටපු  ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනකු අද (27) අධිකරණයට දැන්වීය.

අදාළ නඩුව  අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර හිටපු කොටි සාමාජිකයින් දෙදෙනා නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා මගින් විශේෂ මහාධිකරණයට මේ බව දැනුම් දුන්නේය.
 

අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ගුවනින් සහ ගොඩ බිමින් ප්‍රහාර එල්ල වූයේ 2007 වසරේ සැප්තැම්බර් මස 22 දින අලූයමයි.