ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ඇතැම් ගංගාවල ජීවත්වන දිමිත්තා නමැති මාළුවා ගොදුරු අල්ලන්නේ කෙළ විදීමෙන් බව පර්යේෂණයකින් තහවුරු කැරගෙන ඇත.
දිමිත්තා ජලයට ඉහලින් ගස්වල සිටින දිමියන් ඇතුළු කුඩා සතුන්ට වතුර විදීමෙන් අඩපණ කැර ජලයට වැටීමට සලස්වා ගොදුරු කැර ගන්නා බව මෙතෙක් විශ්වාසය විය. පර්යේෂකයන් පවසන්නේ දිමිත්තා විසින් විදින්නේ ජලය නොව ඔහුගේම ඛේටය බවයි.
ටොක්සෝටස් නම් ඝනයට අයත් දිමිත්තන් විශේෂ හතක් ලෝකය පුරා විසිරී සිටිති. ඔවුන් අතරින් ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ එක් විශේෂයක් පමණි. දිමියන් බහුලව ආහාරයට ගන්නා බැවින් මේ මසුන් ශ්‍රී ලංකාවේ දී හදුන්වන්නේ දිමිත්තා නමිනි. ඔවුන් ශ්‍රී ලංකාවට ආවේණික නොවුන ද දුලබ මාළුවකු ලෙස පිළිගැනේ. බෙන්තර ගග, ගිං ගග හා කළුවාමෝදර ගගේ මෝය ආශ්‍රිතව මේ මත්ස්‍ය විශේෂය වාර්තා වී ඇත. සෙන්ටි මීටර පහත් දහයත් අතර විශාලත්වයකින් වැඩෙන මෙම මත්ස්‍ය විශේෂ ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය උප මහද්වීපයේ සිට පිලිපීනය හා ඕස්ට්‍රේලියාව දක්වා පැතිරී සිටිති.
කෘමියෙකු ජලට ඉහළින් පියඹා යන විට හෝ අසල වූ අත්තක වසා සිටිය දී හෝ දිමිත්තා ජලය මතුපිටට හැකිතාක් ළංව කෘමියාට අධික වේගවත් කෙළ පහරක් විදියි. කෙළ පහර වැදුණු සැණින් කෘමීයා අඩපණ වී ජල තලය මතට වැටෙයි. ඇතැම්විට මේ කෙළ පහර කෘමියා මරා දැමීමට පවා සමත්වන බව පරිසරවේදීන් පෙන්වාදෙයි. කෘමියා මැරී වැටුණ ද නොමැරී වැටුණ ද ඌ දිමිත්තාගේ ආහාරයයි.
පර්යේෂකයන් පවසන්නේ දිමිත්තාගේ දෘෂ්ඨිය විශේෂිත බවයි. ජලයේ වර්තනය සම්බන්ධයෙන් විද්‍යාත්මක න්‍යායන් ඇත. දිමිත්තා වර්තන නියමයන් අනුව ඉලක්කය තෝරාගෙන නිවැරදි ලෙස ප්‍රහාරය එල්ල කරන්නට සමත්වෙයි. දිමිත්තාට කෘමියා පෙනෙන ස්ථානයත් කෘමියා සැබෑවට ම සිටින ස්ථානයත් අතර වෙනසක් ඇත. දිමිත්තාට කෘමියා පෙනෙන්නේ ඌ නිශ්චිතව සිටින ස්ථානයට වඩා ඉහළිනි. දැනට සොයාගෙන ඇති දත්තයන්ට අනුව දිමිත්තා ජල තලයට වඩා මීටර් දෙකක් පමණ ඉහළින් සිටින කෘමියකුට ප්‍රහාර එල්ල කිරීමට සමත්ය.