කුවේට් ගිය ලක් කතකට මනුෂ්‍ය ඝාතන චෝදනා


( තිළිණි ද සිල්වා )
 
අවිවාහකව ගැබ් ගෙන සිටි  ශ්‍රී ලාංකික කාන්තාවක් නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුවේට් පොලීසිය විසින් එම  ලාංකික කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි පවසයි.
පසුගිය සති අන්තයේදී මෙම ලාංකික කාන්තාව අත්අඩංගුවට ගෙන අතැයි වාර්තාවේ.
කුවේටයේ සිටන ජොර්දාන ජාතික හාම්පුතෙකුගේ නිවසක ගෘහසේවයේ නිරත වී සිටි මෙම අවිවාහක කත ඉකුත් 8 වැනිදා එම හාම්පුතුගේ නිවසේ නාන කාමරයකදී දරුවකු ප්‍රසූත කිරීමට උත්සාහ කර ඇති නමුත් දරුවා බිහි කිරීමේ ඇතිවූ සංකූලතා මත දැඩි සේ බියට පත්වූ ඇය උදව් ඉල්ලා කෑ ගසා ඇත.
සිය ගෘහසේවිකාව මර හඩදී කෑගසන අයුරු ඇසී බියට පත් ජෝර්දාන හාම්පුතා විසින් ඒ බව කුවේට් වෛද්‍ය සේවා හදිසි ඇමතුම් සේවයට දැනුම් දී ඇත. ඉන්පසු වෛද්‍ය සේවා නිලධාරීන් විසින් එම ලාංකික ගෘහසේවිකාව එරට මුබාරක් රෝහල වෙත ඇතුළත් කරනු ලැබ ඇත.
එලෙස එස කාන්තාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය සති අන්තයේදී කුවේට් පොලීසිය විසින් ඇයව සිය බාරයට ගෙන ඇත. ඇයගේ හාම්පුතු විසින් පොලීසියට දන්වා ඇත්තේ ඇය අවිවාහක අයෙකු වන බවය.
අවිවාහකව සිටියදී නීතිවිරෝධී ලෙස සිය දරු ගැබ විනාශ කර ගැනීමට උත්සාහ කිරීම හා ඉන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව යටතේ මෙම ලාංකික ගෘහසේවිකාවට එරෙහිව කුවේට පොලීසිය විසින් එරට අධිකරණය හමුවේ නඩුවක් පැවරීමටද පියවර ගෙන ඇතැයි කුවේට් තානාපති ආරංචි මාර්ග පවසයි. කුවේටයේ පවතින ෂාරිය නීතිය යටතේ අවිවාහක ගැබ් ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.