කුරුණෑගල රෝහලේ කාර්යමණ්ඩලයෙන් කොටසක් උද්ඝෝෂණයක


(පුෂ්පකුමාර ජයරත්න )
 
 කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කළ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා නැවත එම තනතුරට පත් කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් අද (8) පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ .

පැයකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාවයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට සහාය පළ කරන අධ්‍යක්ෂවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමග සුළු සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ හෙද නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ . 
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට අසත්‍ය චෝදනා එල්ල කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීම අසාධාරණයක් බවත් එය වීරබණ්ඩාර මහතාට විරුද්ධ දේශපාලන පක්ෂ කීපයකට සම්බන්ධ සුළු පිරිසකගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවටත් විරෝධතාකරුවන් චෝදනා කළහ .

වඳසැත්කම් සිද්ධිය සමිබන්ධයෙන් චෝදනා ලැබ සිටින ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුවේ පැමිණිළි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින  වීරබණ්ඩාර මහතා රෝහල් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කිරීම එම නඩුවට එල්ල වන ප්‍රබල බලපෑමක් බවද ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට සහාය දක්වන පිරිසක් මෙම ස්ථාන මාරුව පසුපස සිටින බවටද ඔවුහූ චෝදනා කළහ .
 
මෙම විරෝධතාව හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවාවන් වලට බලපෑමක් එල්ල නොවීය .