විනීතා එම් ගමගේ
පොල්පිතිගම කුඹුක්කඩවල වැවේ ඉපැරණි දැවැන්ත කුඹුක් ගස් 150 කට ආසන්න ප‍්‍රමාණයක් යම් ආයතනයක් හෝ පිරිසක් විසින් සටහන් යොදා ඇතැයි පරිසරවේදිහු පවසති.
මෙම කුඹුක් ගස් අතර වසර 300 කට වඩා ඉපැරණි කුඹුක් ගස් පවා ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
නිවසක ගෙබිමට කුඹුක් ටයිල් යෙදීම සඳහා දේශපාලඥයකු විසින් මෙම ගස් කැපීමට සැළසුම් සකස් කර ඇති බවත් ඊට තවත් දේශපාලකයන් හා බලවතුන්ගේ සහය ලැබෙන බවත් මුහුණු පොත ඇතුළු සමාජ වෙබ් අඩවි පසුගිය දින කිහිපයේ වාර්තා පල කර තිබිණි.
පහළ මල්වතු ඔය හා මල්වතු ඔය ඉවුරු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට මුවාවී මෙම දැවැන්ත වෘක්ෂ බිම හෙලන්නට සුදානම් වන බව පෙනී යන්නේ යැයි වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පැවැසීය.
පොල්පිතිගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී ද මේ පිළිබඳ ප‍්‍රශ්න කර ඇතැයි කී විජේසිංහ මහතා එහෙත් මේ ගස්වල සටහන් යෙදුවේ කවර ආයතනයකින් දැයි මේ වනතුරුත් කිසිවෙකු නොදන්නේ යැයි ද සඳහන් කළේය.
මේ වනවිට කුඹුක්කඩවල වැවේ ජලය හිස්කර පස් කපා තැන තැන ගොඩ ගසා ඇති බවත් වැව්වල රොන් මඩ ඉවත් කරන මුවාවෙන් වැලි කැපීම මේ වනවිට වයඹ පළාතේ ජයටම සිදුවන බවත් හෙතමෙ කීවේය.
වැව් ඉවුරුවල පවතින ගස් පිළිබඳ වගකීම ඇත්තේ වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයට වන බැවින් මේ පිළිබඳව එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගෙන් අද (20) විමසන අවස්ථාව වනවිටත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා ඒ පිළිබඳ දැන සිටියේ නැත.
පසුව ඒ පිළිබඳව සොයා බලා අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසුවේ එම ගස්වල ආරක්ෂාව වෙනුවෙන් ගස්වලට සටහන් යොදා ඇති බවය.
කෙසේ වෙතත් මෙම ගස් කපන්නේ ද යන්න ගැන පරිසරවේදීන් අවධානයෙන් පසුවන බව වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.