කීත් නොයාර් සිද්ධියේ සැකකරුවන්ට ඇප


(මනෝප‍්‍රිය ගුණසේකර)

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි යුද හමුදා බුද්ධි අංශ සෙබළුන් හයදෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය  අද(20) නියම කළේය.

රුපියල් 35,000 ක මුදල් හා රුපියල් ලක්‍ෂ 15 බැගින් වටිනා ශරීර ඇප තුනක් මත සැකකරුවන් මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණයට බාරදීමටද නියම කෙරිණි.

ඇප තැබීමෙන් අනතුරුව සෑම සති අන්තයකම වරක් රහස් පොලිසියේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට වාර්තා කිරීමේ ඇප කොන්දේසියක්ද පැනවු විනිසුරුවරයා ඇප මත සිටියදී සාක්කිකරුවන්ට තර්ජනය කළ බවට හෝ විමර්ශන වලට බාධා කළ බවට පැමිණිල්ලක් ලැබුණහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන්  වනතුරු  රිමාන්ඩ්  බාරයට  පත්  කරන  බවද  මහාධිකරණය දැනුම්  දුන්නේය.

සැකකාර යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට ඇප නියම කරමින් ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය ප‍්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතීපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍රය ඉවත දමමින් සැකකරුවන් මෙලෙස   ඇප   මත   මුදාහැරීමට   මහෙස්ත‍්‍රාත්වරයා   නියම   කළේය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ සීවලී බුලත්වත්ත, හේමචන්ද්‍ර පෙරේරා, ප‍්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත පියතිලක සහ නිශාන්ත කුමාර චන්ද්‍රනාත් ජයසුරිය නමැති යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් හයදෙනාය.