කැලණියට දැන් සිටම මහා පිරිස්


තිස්හතර වසරකට පසු කපිලවස්තු ධාතුන් වහන්සේලා ප‍්‍රදර්ශනය ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී අඟහරුවාදා උදේ සිට දෙදිනක් පුරා පැවැත්වේ. කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා මේ පිංකම සංවිධානය කරයි. අද දහවල් සිටම උවසු උවැසියෝ දහස් ගණන් එහි කඳවුරුලා සිටිති. ඇතැමෙක් රාත‍්‍රිය පහන් කිරීමට පැදුරුද රැගෙන එති. බුදුන් වැඩි කැලණියේ සිට බුදුන් වහන්සේගේ ධාතු වැඳපුදා ගැනීම තම අභිලාසය බව බොහෝ දෙනෙක් කීහ. කැලණියෙන් පසු කපිලවස්තු ධාතුන් වහන්සේ ඉන්දියාවට වැඩම කැරවීමට නියමිතය. ඉන්පසු එම ධාතු නව දිල්ලි කෞතුකාගාරයේ යළි තැන්පත් කැරේ.