(බිඟුන් මේනක ගමගේ)
කැලණිය රාජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා පංචවිධ සැලැස්මක් අනුව කටයුතු කරන්නේ යැයි එහි දායක සභාවේ සභාපති හා රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ‘ලංකාදීප’ යට අද (7) පැවැසීය.
ඉංග්‍රීසි සිංහල ද්විභාෂා මාධ්‍යයෙන් යුත් වෙබ් අඩවියක් එළිදැක්වීම, නව සනීපාරක්ෂක පද්ධතියක් සකස් කිරීම, පවිත්‍රකරණ වැඩසටහන්වලට ප්‍රාදේශීය සභාවට අමතරව පෞද්ගලික අංශය සහභාගී කරගැනීම, කැලණිය රජමහා විහාරස්ථ දහම් පාසලට සංවර්ධන අරමුදලක් පිහිටුවීම හා විකල්ප යෝජනා සැලසුම් කිරීම මෙම පංචවිධ සැලැස්මට අන්තර්ගත වන්නේ යැයි වෛද්‍ය වීරසිංහ මහතා සඳහන් කළේය.
කැලණිය රජමහා විහාරස්ථානාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ පූර්ණ උපදෙස් මත මෙම සංවර්ධන වැඩපිළිවෙල දියත් වන්නේ යැයි ද රජයට අමතරව පෞද්ගලික අංශයේ සහාය ද ඊට නොමදව හිමිවන්නේ යැයි ද ඒ මහතා කීවේය.
කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහර සංවිධානයෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ වන්නේ යැයි ද රුපියල් කෝටියකට අධික මුදලක් ඒ සඳහා වැයවනු ඇතැයි ද වීරසිංහ මහතා කීය.
මෙවර වාර්ෂික දුරුතු මහා පෙරහරට අගමැති හා බුද්ධශාසන ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ද නොමදව හිමිවන්නේ යැයි ද ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉතාමත් විචිත්‍ර ආකාරයට එය පැවැත්වීමට කටයුතු කරන්නේ යැයි ද වෛද්‍ය වීරසිංහ මහතා පැවැසීය.
මෙවර පෙරහර මංගල්‍යට අලි ඇතුන් 47 දෙනකු සහභාගී වන්නේ යැයි ද අවසන් දින පෙරහරට අනිද්දා (9) පන්දහසකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද වීරසිංහ මහතා සඳහන් කළේය.
සංස්කෘතිකාංග රැසකින් සමන්විත වන සේ සංවිධානය කර ඇති පෙරහර නැරඹීමට එන බැතිමතුන්ගේ ගිමන් නිවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන කීපයකින් ආහාර හා පානීය ජලය සපයන්නේ යැයි ද පොලිසිය හා යුද හමුදාව යොදා ආරක්ෂාව තර කර ඇතැයි ද වෛද්‍ය වීරසිංහ මහතා කීය.
මීට වසර තුනකට පෙර කැලණිය රජමහා විහාරස්ථානයේ දහම් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ ප්‍රථමාධාර මධ්‍යස්ථානය මෙවර ද ක්‍රියාවට නැගෙන්නේ යැයි ද සිසු සිසුවියන් දෙසීය පනහක පමණ පිරිසක් ඒ යටතේ ප්‍රථමාධාර සේවයේ නිරතවන්නේ යැයි ද වෛද්‍ය වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

