කැලණි සරසවියේ දේශන නවතයි


(අකිල බද්දෙවිතාන)

කැලණිය සරසවියේ ජලය අපවිත්‍රවීමක් හා සිසුන්ට පසුගිය දිනවල ඇතිවූ අසනීප තත්ත්වයන් හේතුවෙන් සියලු අධ්‍යයන කටයුතු අද(16) දහවල් 12 සිට නවතා දැමීමට තීරණය කළ බව එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙ‍නෙවිරත්න මහතා පවසයි.

පසුගිය ගංවතුරත් සමග සරසවි පරිශ්‍රයේ ජලය සම්බන්ධ විවිධ ප්‍රශ්න ඇතිවූ බවත් උණ හා පාචනය වැළඳුණු සිසුන් සම්බන්ධයෙන් වාර්තා වූ බවත් කී ඒ මහතා මෙම තත්ත්වයත් සමග බහුතරයක් සිසුන් ගම්බිම් බලාගොස් ඇති බවත් ඔවුන්ට අධ්‍යයන කටයුතු මග හැරෙන බැවින් දේශන නවත්වන ලෙස ශිෂ්‍ය සංගම් පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කළ බවත් කීවේය.

ඒ අනුව අද පෙරවරුවේ රැස්වූ උපකුලපතිවරයා , පීඨාධිපතිවරුන් ඇතුළු පාලනාධිකාරිය මෙම තීරණය ගත් බවත් යළි ජූනි 26 වැනිදා සිසුන්ට නේවාසිකාගාර සඳහා පැමිණීමට දැනුම් දී ඇති බවත් ඒ අනුව 27 වැනිදා සිට දේශන ආරම්භ කරන බවත් නියෝජ්‍ය උපකුලපතිවරයා ලංකාදීපයට සඳහන් කළේය.

පසුගිය සතිය ඇතුළත සිසුන් 900කට ආසන්න පිරිසක් උණ හා පාචනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි ද මහාචාර්යවරයා පැවසීය.