කැලණි සරසවියේ විද්‍යා අංශයේ දේපොළ වලට හානි කළැයි සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට


(දිල්රුක්ෂි ග්‍රේරු)

කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ  රසායනික  විද්‍යා අංශයේ ගොඩනැගිල්ලක දොරවල් කඩා එහි දේපොළවලට හානි කළැයි එම පීඨයේ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි  කිරිබත්ගොඩ පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනාගෙන් සිසුන් දෙනෙකු එම පීඨයේම තෙවැනි වසර සිසුන් දෙදෙනකු වන අතර අනෙක් සිසුවා 2012  වසරේදී විශ්ව විද්‍යාලයට ඇතුළු වී  තවමත් අධ්‍යාපනය හදාරණ සිසුවෙක්  බව පොලිසිය පවසයි.

මෙම සිසුහු  අරලංගවිල, පදවි ශ්‍රී පුර සහ ගනේමුල්ල ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.

මෙයින් සිදුව ඇති  දේපොළ හානිය පිළිබඳව  විශ්ව විද්‍යාල ඉංජිනේරුවරයෙකු  ලබා දුන් තක්සේරු වාර්තාව අනුව රුපියල් දෙලක්ෂ හතලිස්දහස් දෙසිය  හැටක අලාභයක් සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ඉකුත් 12 වැනිදා  රාත්‍රි මෙම සිදුවීම වී ඇති අතර විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශය කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු අරඹා තිබිණි.

ඒ අනුව පරීක්ෂණ  ඇරැඹු පොලීසිය සඳහන් කළේ  සිද්ධිය වු දින පශ්චාත්  උපාධි අධ්‍යන පීඨයේ ආරක්ෂිත කැමැරාවල සටහන් වී තිබුණු දර්ශන අනුව  යතුරු පැදියකින් පැමිණි මෙම සිසුන් රසායනික විද්‍යා අංශයට ඇතුළු වන අයුරු  සහ ඔවුන්ගේ අශෝබන හැසිරීම් රටා සියල්ල තුළින් ඔවුන් මෙම සිදු වීම කළ බවට  මුලික තොරතුරු අනාවරණය වු බවයි.

ඔවුන් තිදෙනා බීමතින් සිටි බවත් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව උඩු කය නිරාවරණව  සිටි ඔවුහු කෑ කෝ ගසමින් විශ්ව විද්‍යාලයේ  රසායනික විද්‍යා අංශයට ඇතුළු වන අයුරු  ආරක්ෂිත කැමරාවල පැහැදිලිව සටහන් වී තිබිණි යැයි  පොලීසිය සඳහන් කළේය.

මොවුන් විශ්ව විද්‍යාලයේ  කොහොල්විල පිහිටි  විද්‍යා අංශයේ නේවාසිකාරයේ රැදී  අධ්‍යාපනය ලබා තිබේ.

වැඩි දුර කළ පරීක්ෂණවලදී  ආරක්ෂිත කැමරා දර්ශන අනුව සිසුහු කවුරුන්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමට හැකි වු බවත් ඒ අනුව  විශ්ව විද්‍යාලයේ පරිපාලන අංශයට හා ආරක්ෂක අශයට මේ පිළිබඳව දැනුම් දී  එම සිසුන් තිදෙනාට පැමිණ පොලීසියට පැමිණ බාර වන ලෙස කළ දැනුම් දීමකින් පසු ඊයේ (19) සවස පැමිණ  ඔවුන් පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත්   බව පොලිසිය පැවසීය.

විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අනවසරයෙන් ඇතුළු වි රජයේ දේපොළවලට  අනර්ථයක් සිදු කිරීම යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අද (20) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළේය.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති  චමින්ද  ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ඒ සඳනුවන්, පොලිස් සැරයන් 22401 යාපා, 73251 ජයලත් කොස්තාපල්වරුන් වන 23594 යසනායක, 36122 තිලකරත්න, 77528 කසුන්, 82146 මාලක,  සහ කාන්තා පොලිස් කොස්තාපල් 1952 රසිකා යන නිලධාරීහු මෙහි විමර්ශන කටයුතුවල නියැලෙති.