කැබිනට් පත්‍රිකාව නාවාට දුම්රිය සමිති රැස්වීමක් අද


(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුව අනුව එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොලැබීම නිසා නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය වෘත්තීය සමිති රැස්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ එකමුතුවේ  සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවැසීය.

මෙම ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ දින හතරක වර්ජනය අවසන් කළේ එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව අනුව යැයි කී ආරියරත්න මහතා එම පොරොන්දුව අනුව කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි දුම්රිය සමිති බලාපොරොත්තු වූ බවද කීය.

වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති පෙරේදා මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග පෙරේදා සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වුවද තමාට එය කළ නොහැකි යැයිද එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ බවත් ආරියරත්න මහතා පැවැසීය.