කැබ්රියක් අරලගංවිලදී සිසුහු 11 ක් යටකරගෙන යයි


(ක.ග.කරුණාරත්න)

අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේදී උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන්  11 දෙනෙකු බීමත් රියදුරෙකු විසින් අපරික්ෂා‍කාරී ලෙස අධික වේගයෙන් පදවාගෙන ගිය කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් සිසුවෙක් මරණයට පත්වී තවත් සිසුන් 10 දෙනෙක් තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ  11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන , අරලගංවිල , රත්මල්තැන්න , අංක 14 එච් කොටස ප්‍රදේශයේ පදිංචි රාජපක්‍ෂ මුදියන්සේලාගේ හසින් දේශාන් කරුණාතිලක නැමැති 16 හැවිරිදි සිසුවෙකි.

අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුන් 10 දෙනාද මියගිය සිසුවාගේ වයසේ පසුවන අය බවත්  ඔවුන්ගෙන් 06 දෙනෙක් දැනට ප්‍රතිකාර සඳහා අරලගංවිල රෝහලටත්  අනෙක් තුවාලකරුවන්  04 දෙනා පොලොන්නරුව මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

අනතුර සිදුකර පලායමින්  තිබූ කැබ් රථය සහ එහි රියදුරා ඇතුළු පුද්ගලයෝ තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිදුකළ විමර්ශන වලදී ඔවුන් සියළු දෙනාම බීමත්ව සිටි බව අනාවරණයවී ඇති බව අරලගංවිල  පොලිසිය සඳහන් කළේය.

(ඡායාරූප  - නිමල් ජයරත්න)