කායවර්ධන ලිපි ගොනුවක් රහස් පොලිසිය භාරයට


ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම් චන්දන අලූත්ගේ මහතාගේ අත්සන වංචනික ලෙස යොදා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතා කළ පැමිණිල්ලකට අනුව ක‍්‍රියාත්මක වූ රහස් පොලිසිය ඊට අදාළ ලිපිගොනුවක් සිය භාරයට ගත් බව වාර්තාවේ. එම ලිපිගොනුව ක‍්‍රීඩා අමාත්‍යාංශය බාරයේ තිබියදී පරීක්ෂණ සඳහා රහස් පොලිස් භාරයට ගත් බව තමන්ට ඔවුන් දැනුම්දුන් බව චන්දන අලූත්ගේ මහතා ලංකාදීපයට පැවැසීය. වසර 2011 මාර්තු මාසයේ ඇමරිකාවේ ”ඔහියෝ” ප‍්‍රාන්තයේදී පැවැත්වුණු ආනෝල්ඞ් ක්ලැසික් ලෝක ආයෝමය ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව තිබුණත් ඒ සඳහා ඇමරිකාවට ඇතුළුවීමට වීසා නොලැබීම නිසා එම සංචාරය අත්හිටුවීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයට සිදුවිය. එම තරග සංචාරයේ ලේඛන කීපයක් සඳහා තමන්ගේ අස්සන ව්‍යාජ ලෙස යොදාගෙන ඇතැයි එවකට කායවර්ධන සම්මේලනයේ ලේකම් ධුරය දැරූ චන්දන අලූත්ගේ මහතා පොලිස්පතිවරයාට කර තිබෙන පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය ක‍්‍රියාත්මක වී ඇතැයිද වාර්තාවේ. ‘‘මා මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කළත් වැඩක් වුණේ නෑ. ඊට පසු පොලිස්පතිවරයාට පැමිණිලි කරන්න තීරණය කළා. මොකද මේ ක‍්‍රියාව බරපතල සිද්ධියක් වන නිසා’’ යැයි ඔහු පැවැසීය. ඇමරිකාවේ පැවැති මෙම තරගාවලියට එවකට කායවර්ධන සම්මේලනයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කළ ඇමැති විනයාගමූර්ති මුරලිදරන් මහතා ඇතුළු එහි නිලධාරීන් ගණනාවක්ද පිටත්ව යාමට සූදානමින් සිටියහ. කෙසේ වුවත් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන අලූත්ගේ මහතා චෝදනා කීපයක් මත මේ වනවිට වසර දෙකක තහනමකට ලක්ව සිටින අතර ඇමරිකානු තරග සංචාරය සඳහා ඔහු සහ ඔහුගේ බිරිඳ ද ක‍්‍රීඩිකාවක් ලෙස ඉල්ලූම්කර තිබුණි.