ක්ෂුද්‍ර මූල්‍ය රකුසා ගැන හෙළිදරව්වක්


(සුජිත් හේවාජුලිගේ )

ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී  පවුල්වල  කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක්  පසුගිය වසර දෙකේදී  ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවූ  මානසික  ව්‍යාකූලත්වයන්  හේතුවෙන්  සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තාවන බව  රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

මේ අතර රටේ  2021 වර්ෂය වනවිට සිටි සියයට 12ක දුප්පතුන් සංඛ්‍යාව 2022 වර්ෂය වනවිට සියයට  26 ක් දක්වා වර්ධනයවී ඇති බවත් මෙය අවස්ථාවක්  කරගත් බොහෝ  ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ආර්ථික වශයෙන්   ගොඩඑන මාර්ගයක් ලෙස ක්ෂුද්‍ර  මූල්‍ය  ණය ව්‍යාපෘති හතු පිපෙන්නා සේ හඳුන්වා දෙන බවත්  මන්ත්‍රීවරයා කීවේය.

ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන සමහර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සියයට  70ක පමණ ඉතා අධික වාර්ෂික පොළියක් අය කරන බවද  ඔහු පෙන්වා දුන්නේය.

ඉහත සඳහන් කළ සියදිවි හානිකර ගැනීම්වලට අමතරව වාර්තා නොවන එවැනි මරණ මීටත් වඩා වැඩිවිය හැකි බව පවසන මන්ත්‍රීවරයා ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවී සිටින  විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන්කිසියම් සහන වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා සිටී.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකිවූ කාන්තාවන් ඇතුළු  පිරිස් රට අතහැරයාම, සිය ගම්බිම්වලින් පලා යෑම වැනි ක්‍රියාමාර්ගවලට  යොමුවීම නිසා කුඩා දූ දරුවන් සිටින පවුල් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අනාථ භාවයට පත්ව ඇති බවට  තොරතුරු අනාවරණය වන්නේ යැයිද  වලේබොඩ මහතා පැවසුවේය.

සමහර කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන්ගේ අතවර සහ වෙනත් හිරිහැරවලට ලක්වීම වැඩිවන  තත්වයක්ද  පෙනෙන්නට ඇතැයි  හෙතෙම සඳහන් කළේය.

විධිමත් නියාමනයකට හෝ පාලනයකට ලක් නොවූ  බොහෝ  ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටේ ජනතාව දැවැන්ත ලෙස සහ සූක්ෂම ආකාරයෙන්  සූරා කමින් සිටින බවත් රජය ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර  පොලීසියේද  සහය ලබාගෙන සුදුසු ක්‍රියාමාර්ග නොපමාව ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්  ගාමිණී වලේබොඩ  මහතා  ප්‍රකාශ කළේය.

නියාමනයකට ලක් නොවූ ශුද්ධ මූල්‍ය ආයතනවල කළු කඩ ණය ජාවාරම්වලට  ජනතාව ගොදුරුවීම  රටේ දැවැන්ත අර්බුදයක් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.