(එම්. කේ. නන්දසේන)
කතරගම වැඩිහිටිකන්ද පාමුල කසළ කන්දකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් නිකුත් වූ අහිතකර දුමාරය හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි දෙටගමුව විදුහල සහ පෙරපාසල් දෙකක් අද(21) වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් මත පාසලේ විදුහල්පතිවරයා සහ පෙරපාසල් බලධාරීන් මෙම පියවර ගෙන ඇත.
මෙම කසළ කන්දේ දුමාරය පිළිඳව දැන, එය පරීක්ෂා කිරීමට ගිය නිලධාරීන් පවා ක්ලාන්ත වී තිබිණි.
වැඩිහිටිකන්ද පාමුල, තේක්ක රක්ෂිතය සීමාවේ අනවසරයෙන් බැහැර කර තිබූ කසළ කන්දට ඊයේ(20) රාත්‍රියේ පිරිසක් ගිනිතැබීම හේතුවෙන් අද උදෑසන පටන් අධික දුමාරයක් සහ ඉටි පිළිස්සෙන දුර්ගන්ධයක් නිකුත්වෙමින් තිබිණි. මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ ජනතාව කතරගම පොලිසියට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දී ඇත.
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා ජල බවුසර් දෙකක් සමග සේවකයින් පිරිසක් එම ස්ථානය වෙත යවා ගින්න නිවාදැමීමට පියවර ගෙන තිබුණි.
ඉකුත් 11 වැනිදා කතරගම ප්‍රදේශයට හොරණ කර්මාන්ත ශාලාවකින් බැහැර කළ අපද්‍රව්‍ය රැගත් ලොරි පැමිණි බවත්, කසළ ගොඩබෑමට පැමිණි ලොරි රථවලට ග්‍රාම නිලධාරිනිය සහ ප්‍රදේශවාසීන් විරෝධය දැක්වීම මත රියදුරන් කතරගම පොලිසිය අත්අඩංගුවට ගත් බවත් කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා කීය.
එයින් එක් ලොරියක් කසළ එම ස්ථානයට බැහැර කර පිටව යාමත් සමඟ ම අත්අඩංගුවට ගත් බවත්, මෙම කසළ එම රථයෙන් බැහැර කළ කසළ බවත් ඔහු පැවසීය.
මෙම ලොරි රථ දෙකෙහි රියදුරු දෙදෙනා සහ සහායකයා තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවිමෙන් පසු ඇප මත මුදාහැර තිබූ බවද, එම කුණු කසළවල සාම්පල හෙට(22) අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබූ බවද ඔහු කීය.
කතරගම සෞඛ්‍ය කාර්යාලය විසින් තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බුද්ධික කරුණාරත්න මහතාට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබූ අතර, ඒ මහතා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට කළ දැනුම්දීමකට අනුව පාසල වසා දැමීමට උපදෙස් දී ඇත.




