කලාවැවේ වාන්ජලයට යටවූ පාලම අවදානම් තත්වයක


(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
 
කලා වැවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලයෙන් යටවී තිබූ ප්‍රධාන මාර්ගයේ පාලම මේ වනවිට විවෘත කර තිබුණද,  ජල පහරට හසුවීමෙන් එය විනාශ වී අවදානම් තත්වයක පවතින බව ප්‍රදේශවාසීහු කියති.
 
දින දෙකක් පුරා මෙම පාලම කලා වැවේ වාන් ජලයෙන් යටවී තිබූ අතර, මේ හේතුවෙන් ගල්නෑව-කැකිරාව මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් නතර වී තිබුණි. දින දෙකක් තුළ එගොඩට මෙගොඩට යාගත නොහැකිව සිටි ජනතාවට ඊයේ හවස මෙම පාලම හරහා ගමන් කළ හැකිවිය.
 
අද(23) කලාවැවේ වාන් දොරටු අඩි 15 බැගින් ඔසවා තිබූ අතර කලාවැවෙන් කලාඔයට මුදාහළ ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 16,000කි.
 
දඹුලු ඔය ඉබ්බන්කටුව ආදී ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිට කලාවැවට අද ඝණ අඩි 8,000ක පමණ ජල ධාරිතාවක් ලැබෙමින් පැවති බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම්.එච්.එම්. බණ්ඩාර මහතා කීය.
 
අවදානම් තත්වයක පැවති කලා වැව පාලම පිළිබඳව විමසීමක් කළවිට වාරිමාර්ග ඉංජිනේරුවරයා කියාසිටියේ ඒ පිළිබඳව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා යවා තිබෙන බවයි.