කලාවැවේ අවදානම් තත්ත්වයක් : හදිසි දොරටු තවදුරටත් විවෘත කරන්න බෑ


(කුෂාන් ජයවර්ධන)

කලාවැවේ හදිසි වාන් දොරටු අද (20) පස්වරු 4.00 සිට අඩි 18 දක්වා උපරිම අගයට විවෘත කර තිබේ.

කලාවැවෙන් පිටවන ජල ධාරිතාවයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් මේ වනවිට කලාවැවට එක්වෙමින් තිබීමෙන් කලාවැව ආශ‍්‍රීතව හදිසි අවදානම් තත්ත්වක් මතුවී ඇත.

කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාල ප‍්‍රකාශකයකු පැවසුවේ කලාවැව ආශි‍්‍රත ප‍්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් පවතින බවයි. කලාවැවේ හදිසි වාන් දොරටු මේ වනවිට උපරිම අගයට විවෘත කර තිබේ. ඒ අනුව මේවනවිට කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 18ක් දක්වා විවෘත කර ඇති අතර අඩි දෙකක පමණ ජල කදක් වානෙන් පිටවනු ඇත.

ඒ අනුව මේ වනවිට කලාවැවෙන් කලා ඔයට මුදාහැරෙන ජල ප‍්‍රමාණය 22,725 (තත්පරයට ඝණ අඩි) පමණ වේ. එසේ වුවද මේවනවිට පවතින වැසි තත්ත්වයත් සමඟ කලාවැවට  මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 32,445ක් (තත්ත්පරයට ඝණ අඩි) පමණ වේ. ඒ අනුව වැවෙන් පිටවන ජල ප‍්‍රමාණයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් මේ වනවිට කලාවැවට එක් වෙමින් පවතී.

පවතින තත්ත්වය අනුව තවදුරටත් හදිසි දොරටු විවෘත කිරීමට නොහැකි තත්ත්වයත් සමඟ කලාවැව යම් අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර අවශ්‍ය වුවහොත් වැව්බැම්මේ හදිසි පැතිවාන කපා දැමමීට සිදුවන බවද කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි. පවතින අවදානම් තත්ත්වය අනුව කලාවැව යටතේ මෙන්ම කලාඔය දෙපස ජීවත්වන පිරිස් රාත‍්‍රි කාලයේ දැඩි අවධානයෙන් සිටින්නැයි කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දී සිටී.