කල්ලාරු අනවසර ඉදිකිරීම් වළකන පෙත්සම විභාගය 27දා


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ, කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපය එළිකර අනවසර ඉදිකිරීමේ වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගය ලබන 27 වැනිදා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අද(23) නියෝග කළේය.

මෙම පෙත්සම විභාගය මුලදී ප්‍රතික්ෂේප කෙරුණු අතර එය අද යළි කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා එසේ නියෝග කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර ඇත. මෙම නඩුව විභාග කිරීම තමන් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බැවින් එය විනිසුරු ජනක් ද සිල්වා මහතා හමුවට යොමු කරන බව අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එහිදි කීය.
 
ඒ අනුව පෙත්සම විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබූ අතර එය ලබන 27 වන දා යළි කැඳවා එදිනට පෙත්සම් විභාගයට  කිරීම සඳහා දින නියම කළේය.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් එළි කර එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීමෙන් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙත්සමෙන් කියා සිටී.
 
එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් එළිකර අනවසර ඉදිකිරීම් වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
 
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.
 
මෙම නඩුවේ විභාගය අවසන් කර ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් එවකට කටයුතු කළ  විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා  තීන්දු කළේය .