කරාපිටිය රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ දෙකක් නෑ


(සිරංගිකා ලොකුකරවිට)

හදිසි ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ දෙකක් වන ඇඩ්රිනලින් හා පොටෑසියම් ක්ලෝරයිඞ් කරාපිටිය රෝහලේ නොමැති වීමෙන් රෝගීන් අවදානමකට පත්ව ඇතැයි එහි සේවකයෝ කියති.

ආසාත්මිකතාවක් ඇති වූ විට සහ හදිසි ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන ඇඩ්රිනලින් පුද්ගල ජීවිත බේරාගැනීමට අත්‍යාවශ්‍ය ඖෂධයකි. රෝහල් සේවකයන් පවසන්නේ දිනකට ඇඩ්රිනලින් කුප්පි 100ක් පමණ රෝහලේ භාවිතාවන බවයි.

නමුත් මේ වනවිට රෝහලේ ඖෂධ ගබඩාවේ ඇඩ්රිනලින් නොමැති බවත් මින් පෙර විවිධ වාට්ටු හා ඒකක සඳහා නිකුත් කර තිබූ ඇඩ්රිනලින් කුප්පි කිහිපයක් භාවිතය සඳහා ගෙන ඇති බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.

දැඩි සත්කාර ඒකකයේ, හදිසි ප‍්‍රතිකාර ඒකකයේ සහ හෘද රෝග අංශයේ හදිසි ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන පොටෑසියම් ක්ලෝරයිඞ් ද මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ නැත.

රෝහල් සේවකයන් පවසන්නේ දිනකට පොටෑසියම් ක්ලෝරයිඞ් කුප්පි 30-40ක් අතර ප‍්‍රමාණයක් කරාපිටිය රෝහලේ භාවිතා වන බවයි.
මේ ඖෂධ නොමැතිවීම හේතුවෙන් එහි හදිසි ප‍්‍රතිකාර සඳහා යොමුවන රෝගීහු හා සැත්කම් සඳහා යොමුවන රෝගීන් දැඩි අවදානමකට මුහුණ පා සිටිති.

මේ පිළිබඳව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානයක මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ සති දෙකකට පමණ පෙර වෛද්‍ය සැපයුම් අංශයෙන් එම ඖෂධ ඇණවුම් කළ බවත් ඉතා ඉක්මණින් ඒවා ලැබෙනු ඇති බවත් ය.

“දැනට ඖෂධ ගබඩාවේ එම ඖෂධ නැති බව සත්‍යයක්. නමුත් හදිසි අවශ්‍යතා සඳහා එම ඖෂධ ඔසුසලෙන් මිල දී ගෙන රෝගීන්ට ලබාදෙනවා. ඒ නිසා ගැටළුවක් නැහැ. මේ ඖෂධවලින් දවසකට භාවිතයට ගන්නේ කුප්පි පහක් පමණ ප‍්‍රමාණයක්’’යැයි ද ඒ මහතා කීය.