කඳුකරයේ බටහිර බෑවූමේ තද වැසි බලාපොරොත්තුවන්න


(තරිඳු ජයවර්ධන)

මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බවත්, එහි බලපෑම හේතුවෙන් වැසි හා සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කියන එම දෙපාර්තමේන්තුව විටින් විට පැයට කිලෝමීටර 80 දක්වා තද සුළං ඇති වන බව ද කියයි.

ඉදිරි පැය 24 සදහා අද උදේ නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා හා ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩි විය හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බවයි.

ධීවර සහ නාවික ප්‍රජාව මේ ගැන සැලකිලිමත් වන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.