කඩොලාන පද්ධතියේ ඇතිවූ ගින්න ගැන පරීක්ෂණයක් ඉල්ලයි


(ඩයනා උදයංගනී)

සීදුව ප‍්‍රදේශයේ කඩොලාන පද්ධතියක් ආශ‍්‍රිතව අද (20) ඇතිවූ ගින්න සැක සහිත බැවින් එය හටගත් ආකාරය සොයා බැලීම සඳහා පරීක්‍ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

මෙම ගින්න ඇතිවූයේ ගම්පහ දිස්ත‍්‍රික් අඩවි නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් බේරා ගැනීමට සටන් කරන කඩොලාන පද්ධතියේම වීම නිසා එය කිසිවකු විසින් සැලසුම් සහගතව සිදුකළැයි ද යන්න ගැන සැකයක් ඇතිවන බව මන්ත‍්‍රීවරයා කීවේය.

එබැවින් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකර මෙය කිසිවකු විසින් සැලසුම් සහගතව සිදුකර ඇත් නම් දැඩි දඬුවම් ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම කඩොලාන පද්ධතියට විවිධ දේශපාලනඥයන්ගේ බලපෑමෙන් කාලයක් තිස්සේ අපද්‍රව්‍ය බැහැර කිරීම ද කණාගාටුවට කරුණක් බව කී මන්ත‍්‍රීවරයා දැන් හෝ එම වරද නිවැරදි විය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා පැවසුවේ ත‍්‍රිකුණාමටය වරායේ තිබූ ත‍්‍රින්කෝ 1 නැමති රුපියල් කෝටි 16ක් පමණ වටිනා අධි තාක්‍ෂණික යාත‍්‍රාව වරාය අධිකාරියේ ප‍්‍රබලයකුගේ පුතයෙකු ඉකුත් ජනවාරි 20 වැනිදා එහි සංචාරයක් ගිය අවස්ථාවේ භාවිතා කර එයට රුපියල් ලක්‍ෂ 80ක පමණ හානියක් සිදුකර ඇති බවයි.

මෙය හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් 2019 වසරේ යෙදුණු ජපන් සංචාරයකදී එරටින් නොමිලේ ලැබුණු යාත‍්‍රාවක් බව කී මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකාවේ තිබූ එකම අධිතාක්‍ෂණික යාත‍්‍රාව එය බවද සඳහන් කළේය.

එය යාත‍්‍රා කරවීම සඳහා පුහුණු කළ නියමුවන් දෙදෙනකු සිටියදී වෙනත් අයකු ලවා යාත‍්‍රා කරවීම නිසා මුහුදු පත්ලේ ගල්පරවල ගැටී එහි තාක්‍ෂණ පද්ධතියට හානි වී ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.