කටුවන සැකකරු රිමාන්ඞ්


ජුලම්පිටියේ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ ජූලි 11 වැනිදා තෙක් රිමාන්ඞ් කළ තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා, වලස්මුල්ල උසාවියේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ජූනි 29 වැනිදා ඉදිරිපත් කරන්නැයි ද බන්ධනාගාරයට නියෝග කළේය. පසුගිය 15 වැනිදා කටුවන ජවිපෙ රැලියේදී දෙදෙනකු වෙඩි තමා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට සාක්කි ඇතැයි රහස් පොලිසිය විනිසුරුවරයාට සැළ කළේය. මහාධිකරණ විනිසුරුවරයා මෙසේ පැවසුවේය. සැකකරුට එරෙහිව නඩු හතරක් මහාධිකරණයේත් තියෙනවා. තවත් අධිකරණවල නඩු තියනවා. විවෘත වරෙන්තු එකසිය ගණනක් සැකකරුට නිකුත් කළා. සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා. ඒ දේ කළේ නැහැ. එහෙම කළා නම් සැකකරු අද මේ තත්ත්වයට පත්වෙන්නේ නැහැ. පොලිසියටත් දොස් තියනවා. සැකකරු මේ තත්ත්වයට පත්වීම ගැන පොලිසියත් වගකියන්න  ඕනෑ. ඔහුට ඇප දුන් කිප දෙනකුට ද වරෙන්තු නිකුත් කැරිණි. සැකකරු ඇමතූ විනිසුරු මෙසේ ද කීවේය. අධිකරණයේ ආරක්ෂාව ඉල්ලන  ඕනෑම අයකුට ආරක්ෂාව දෙන්න  ඕනෑ. මම කිව් දේවල් ඔබ කළේ නැහැ. ටී 56 ගිනි අවි දෙක ගෙනැවිත් බාර දුන්නේ නැහැ. ජීවිත ආරක්ෂාව ඉල්ලන නිසා මම ආරක්ෂාව සලසනවා. තමන්ට දැන් මරණ භය ඇතිවෙලා තියෙන්නේ. වෙඩි තියල මරපු මනුෂ්‍යයන්ටත් ඒ බය ඇති වෙන්න ඇති. මේ වගේ දේවල්වලින් ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වෙනවා. පසුගිය සතියේ දවසක තංගල්ල බන්ධනාගාරයේ රැඳවියකු බලන්න තමන් බන්ධනාගාරයට ඇවිත් තියෙනවා. බන්ධනාගාරයේ දෙවැනි නිලධාරියකු ප‍්‍රධාන ගේට්ටුව ඇරලා තමුන් ඇතුළට ගෙන තියනවා. මට මේවා ආරංචියි. මේ විදියට සලකා තියෙන්නේ විවෘත වරෙන්තුකරුවකුට, අපරාධ නඩු මිනීමැරුම් නඩු ගණනාවක් තියන සැකකරුවකුට. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය කරුණු ඉදිරිපත් කළාය. සැකකරු වෙනුවෙන් නීතිඥ නිශාන්ත සදභරණ මහතා කරුණු දැක්වීය. සැකකාර ජුලම්පිටියේ ජී.ජී. අමරසිරි ආවරණය කර අධිකරණයේ සිට තංගල්ල බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගියේය.