කටාරයේ වෙසෙන ලාංකිකයන් 300 ක් උද්ඝෝෂණයක


(තිළිණි ද සිල්වා )

තමන්ට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට යෑමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන්නැයි ඉල්ලා කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 300 කට ආසන්න පිරිසක් එරට දෝහා අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට අද (09) උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.

කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා නොමැතිව දුෂ්කරතාවයන්ට  පත්ව සිටි ලාංකිකයින් පිරිසක් මෙම උද්ඝෝෂණයේ නිරතව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

එම වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් පෙබරවාරි 28 වැනිදා සිට සිය රැකියා කිරීමේ දුෂ්කරතා , ආහාර මෙන්ම අනෙකුත් පහසුකම් නිසි අයුරින් නොලැබීම ආදි විවිධ කරුණු හේතුවෙන් ඉකුක් මාස හතර පුරා ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටියද , තමන් ඇතුළු මෙම පිරිසට ලංකාවට යෑමට අවශ්‍ය පහසුකම් කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නොලැබුණු බව එම උද්ඝෝෂණයට එක්වූ ලාංකික ශ්‍රමිකයින් කියා සිටින බවද එම තානාපති ආරංචි මාර්ග කියයි.

මේ නිසා පසුගිය මාස හතරක කාලය තුළදී තමන්ට ඇතිවී තිබෙන මෙම දුෂ්කරතාවයන් නිසා තමන්ට ආහාර ඇතුළු අනෙකුත් පහසුකම්ද නොලැබෙන තත්ත්වයක් ද , නිවාස හා කල්බදු ණය ගෙවීම් ගෙවා ගැනීමටත් නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද එම ලාංකික ශ්‍රමිකයෝ කියා සිටිති.

එම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට දුරකථන ඇමතුම් හරහා දැනුවත් කිරීමට උත්සාහ කළද ඇතැම් අවස්ථාවදී එම ඇමතුම් වලට අදාළ බලධාරීන් ගෙනන් ප්‍රතිචාර නොලැබෙන බවද එම ශ්‍රමිකයෝ කියා සිටිති.

එහෙයින් තමන්ව ලංකාවට යෑමට අවශ්‍ය පහසුකම් සාධාරණ ලෙස ලබා දෙන්නැයිද මෙම ලාංකිකයින් එරට වැඩබලන ශ්‍රී ලංකා තානාපති කෝහුල රංගන් මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

මෙමලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කටාරයේ සේවය කරන ලාංකිකයින් දස දහසක් යළි ලංකාවට ඒමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියංපදිංචි වී ඇති බවත් , එම පිරිස් අතුරෙන් සේවා කාලය නිමවූ පිරිස් යළි දිවයිනට යැවීමේ ප්‍රමුඛත්වයක් දෙන බවත්ය.

එසේ නොමැතිව රැකියාවෙන්  නිවාඩු ලබා සිටිනා පිරිස් වෙත මෙම අවස්ථාවේදී ප්‍රමුඛත්වය ලබා දීමේ අපහසුතාවයන් පැවතිය ද , එවැනි පිරිස්ද කෙසේ හෝ ලංකාවට පිටත් කර හැර යැවීමට කටයුතු කරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේය.

එසේම මෙම වසංගත තත්ත්වය හමුවේ කටාරය තුළ දුෂ්කරතා වලට ලක්ව සිටින ලාංකිකයින් සඳහා වියළි ආහාර ඇසුරුම් මලු 6500 ක්ද කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් බෙදා හැරිය බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.