(විනීතා එම් ගමගේ)
මහනුවර ගන්නෝරුව ප‍්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් සිසුවියන් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් ඔවුන් හිංසනයට ලක්කළේ යැයි කියන සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අරඹා ඇති පරික්ෂණය තව දුරටත් පුළුල් කළ බව එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානී සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළ බව ද ඇය කීවාය.
මූලිකවම මෙම ක‍්‍රීයාදාමය හරහා මෙරට අපරාධ නීතිය කඩවීමකට ලක්වී ඇත්දැයි සොයාබැලීම සඳහා විශේෂ අවධානය යොමු කර ඇති බවද කී ඇය අදාළ අවස්ථාව සඳහා සහභාගී වූ මුළු සිසුන් ගණන හා ඔවුන්ගේ තොරතුරු,අදාළ අවස්ථාව සඳහා පන්ති භාර ගුරුවරු සහභාගී වී තිබේද? එසේනම් ඔවුන්ගේ තොරතුරු මෙන්ම පන්ති භාර ගුරුවරුන් සඳහා අදාළ අවස්ථාවට දරුවන් සහභාගී කරවන ලෙස නියෝග කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න දැක්වෙන පැහැදිලි ප‍්‍රකාශ සටහන් ආදිය ද එහි දී විමර්ශනයට ලක්වෙනු ඇතැයි කීවාය.
ඊට සහභාගී වූ දරුවන්ගේ දෙමව්පියන්ට අදාළ තොරතුරු හා අදාළ උත්සවය පැවති කාලය, පටන්ගත් වේලාව, අවසන් වූ වේලාව සහ දරුවන් නැවත පාසල වෙත එවන ලද වේලාව ද අදාළ අවස්ථාවේ දරුවන්ට ආහාරපාන ලබාදුන්නේද? දුන්නේ නම් ඒ මොනවාද යන්නත් මෙහි දී සොයා බලන බව ද සභාපතිනිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමටත් අදාළ උත්සවය සම්බන්ධව පාසල් දරුවන් සහභාගී කරවීමට නියෝග කළේද යන්නට අදාළ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට ද කටයුතු කරන බව පැවැසූ සභාපතිනිය මෙම අවස්ථාවේදී යම් අසනීප තත්වයට ගොදුරු වූ ළමුන් සිටීද? එසේ නම් ඔවුන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටත් ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමත් කටයුතු කරනු ඇතැයි කීවාය.
එමෙන්ම මෙම අවස්ථාවේ ළමයින්ගේ තාවකාලික භාරකාරත්වය දරණ ලද්දේ කවුරුන් විසින්ද? මෙම උත්සව අවස්ථාව සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී තිබුනේද? ළමයින්ට කොපමණ දුරක් පයින් ඇවිද යාමට සිදු වුණිද? මෙම අවස්ථාව සඳහා ගිලන් රථ යොදාගෙන තිබුණේද? යන කරුණුද විමර්ශනයට ලක්වනු ඇතැයි ඇය පැවැසුවාය.
මේ සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද ඇය තවදුරටත් සඳහන් කළාය.

