ඒකාබද්ධයේ උද්ඝෝෂණය ගැන අදත් සාකච්ඡා


(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)

ඒකාබද්ධ විපක්‍ෂය ලබන මස 5 වැනිදා පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට ”උද්ඝෝෂණය සඳහා ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගිකරවා ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමේදී අද (28) දීර්ඝව සාකච්ඡා කෙරිණ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්ව සිටින මන්ත්‍රීවරුන් මෙයට සහභාගිකරවා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණ බව ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයක් පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිළ නිවසේදී අද (28) පස්වරුවේ පැවැත්විණ.

ඒකාබද්ධ විපක්‍ෂයේ ජනබලය කොළඹට උද්ඝෝෂණය සංවිධානය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා මෙම රැස්වීමට විශේෂයෙන් කැඳවා තිබූ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් එහි සංවිධාන කටයුතු පිළිබඳව ඔහුගෙන් කරුණු විමසූ බව දැනගන්නට ඇත.

මෙම උද්ඝෝෂණයට සහභාගීවන පිරිස්වලට ආරක්‍ෂාව සැපයීම මෙන්ම ආණ්ඩුවෙන් එල්ලවිය හැකි තර්ජනවලට මුහුණ දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.