එස්බී අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී


(විනීතා එම් ගමගේ)

සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද (21) පෙරවරුවේ සමාව ඉල්ලා සිටියේය.

තමන් ගැන උන් වහන්සේලාගේ කළකිරීමක් ඇත්නම් ඒ ගැන කනගාටුව පළකරමින්ම සමාව ඉල්ලා සිටින බව අමාත්‍යවරයා කීවේය.

අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව රැස්වී ඊයේ (21) කර ඇති විශේෂ ප‍්‍රකාශයේ ඇතැම් කරුණු තමන්ට එල්ල කර ඇති බවක් පෙනී  යන බැවින් මෙසේ සමාව ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.

මහ නායක හිමියන් තමන්ට චෝදනා කරන්නේ ඥානසාර හිමියන්ගේ නම පමණක් පාවිච්චි කිරීම හා ගරු සරු නැතිව කථා කිරීම ගැන යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

කෙසේ වෙතත් පසුගිය සමයේ ඥානසාර හිමියන්ගේ විදේශවල හා මෙරට දී පෙන්වූ හැසිරීම් ගැන සිහිපත් කරද්දී ඒවා නිසා උන් වහන්සේට තිබු ගෞරවය අඩු වූ බව කිව යුතු යැයි ද දිසානායක මහතා කීවේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සමාජ සවිබල තැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍යංශයේ අද(21) පැවැති මාධ්‍ය හමුවක දීය.