එස්. එස්. සී තණතීරුව යළි ඇතිරීම ගැන සිතා බැලීමට කාලය හොඳයි


ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග වලදී ප‍්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් එස්. එස්. සී. පිටියේ තණතීරුව නැවත ඇතිරිය යුතුය ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන අදහස් කරයි. කොළඹ එස්. එස්. සී. පිටියේදී පාකිස්තාන පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය අවසානයේදී මහේල මේ බව පවසා සිටියේය. මේ තණතීරුවේදී ටෙස්ට් තරගයක තීරණයක් ලබාගන්න නම් මා හිතන්නේ මේ තණතීරුවට තව මොනව හරි දෙයක් එකතු වෙන්න  ඕනෑ. නියත වශයෙන්ම ඒ ගැන අප සිතා බලන්න  ඕනෑ” යයි මහේල ජයවර්ධන පැවසීය. පසුගිය වසර හයක කාලයේදී එස්. එස්. සී. පිටියේදී පැවැති ටෙස්ට් තරග 10 කින් තරග හයක්ම ජය පරාජයෙන් තොරව නිමා වී ඇත්තේ පිතිකරුවන් වාර්තා පිට වාර්තා තබමිනි. මහේල ජයවර්ධන (374) සහ කුමාර් සංගක්කාර (287) එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලෝක වාර්තාවක් පිහිටවූයේදී එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදීය. කෙසේ වෙතත් කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තානු පිලට ආරාධනා කිරීම සම්බන්ධයෙන් තමන් ගත් තීරණය තමන්ටම පාරාවළල්ලක් වූ බව මහේල පිළිගනී. මෙම තීරණය නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කී‍්‍රඩකයෝ කඩුලූ 5 කට ලකුණු 551 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිල දැඩි පීඩනයකට නතු කළහ. අප ඒ පිළිබඳව ගත්තේ සාමූහික තීන්දුවක් තමා. ඒත් නායකයා වශයෙන් මා වගකීම බාරගත යුතුයි. මා එහි වගකීම බාරගන්නවා” එය අපි ගත්තු එක්තරා අවදානම් සහගත තීරණයක්. ඒත් ඒක ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. තව පොඞ්ඩෙන් ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට අපට සිදුවෙනවා” යයිද මහේල පැවසීය. වසර ගණනාවක් තිස්සේ, එස්. එස්. සී. පිටිය පිතිකරුවන්ට කොයිතරම් යෝග්‍ය තණතීරුවක් වුවද, මෙම කී‍්‍රඩාංගණයේදී විශාල ඉනිම කරා යන පිතිකරුවන් තමන්ගේ ඉලක්කය ආසන්යේදී දැවී යාම සුලබ දසුනකි. දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී මහේල ජයවර්ධන ලකුණු 374 කටද, කුමාර් සංගක්කාර ලකුණු 287 කට දැවී ගියේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 624 ක ලෝක වාර්තාගත සම්බන්ධතාවක් එක් කිරීමෙන් අනතුරුවය. එහිදී මහේල තවත් ලකුණු 27 ක් ලබාගත්තා නම් බ‍්‍රයන් ලාරාගේ ලකුණු 400 ලෝක වාර්තාව තමන් සතුකරගත හැකිව තිබූ අතර කුමාර් සංගක්කාරට සිය පළමු ටෙස්ට් ති‍්‍රත්ව ශතකය ලබාගත හැකිව තිබිණ. 1997 දී සනත් ජයසූරිය එස්. එස්. සී. පිටියේදීම ලකුණු 199 කට දැවී ගිය අතර ඉන් වසර 10 කට පසුව එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී මහේල ජයවර්ධන ලකුණු 195 කට දැවී ගියේය. මේ සතියේදී පැවැති ශී‍්‍ර ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගයේදී මොහොමඞ් හෆීස් ලකුණු 196 කට දැවී ගිය අතර කුමාර් සංගක්කාර ලකුණු 192 කට දැවී ගියේ සිය 9 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය අත පොවන මානයේ තිබියදීය. ඉතිරි ලකුණු 8 ලබාගත්තා නම් ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතරේ දෙවැනි ස්ථානය ලබාගැනීමේ අවස්ථාව සංගක්කාරට තිබිණ. ඒ ගන මහේල දරන්නේ මෙවන් අදහසකි. බොහෝ වෙලාවට අප දේවල් සැහැල්ලූවට බාරගන්නවා. විශේෂයෙන්ම ඒ වාගේ පහසුවෙන් පන්දුවට පහර දෙන අවස්ථාවල. ඒත් පිතිකරුවකුට කඩුල්ල අහිමි වීමට වැරද්දකින් බාගයකුත් ඇති” ඒ නිසා තමන්, ලකුණු 100 ක හිටියත්, 190 ක හිටියත්, ඉලක්කය කරා යනතුරුම දැඩි අවධානයෙන් සිටීම හරිම වැදගත්” යයිද මහේල පැවසීය.