එරොෆ්ලොට් ගුවන් යානයට රුසියාවට යන්න අවසර


(මනෝප්‍රිය ගුණසේකර)

රුසියානු ”ඒරෝෆ්ලොට්” ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (06) නියම කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය සත්‍ය වසන් කොට අධිකරණය නොමග යවමින් මෙම වාරණ නියෝගය ලබා ගෙන ඇතැයි සඳහන් කරමින් මෝෂමක් මාර්ගයෙන් නීතීපතිවරයා වෙනුවෙන් දීර්ඝ වශයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ කරුනු සළකා බැලීමෙන් අනතුරුව ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබු වාරණ නියෝගය අත්හිටුවීමට එලෙස නියම කළේය.

අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් සමාගම ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 02 වැනිදා  කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් කටුනායක සිට මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ”ඒරෝෆ්ලොට්” ගුවන් සමාගමට අයත් ගුවන් යානය මෙරටින් පිට වීම අත්හිටුවන ලෙස දන්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගම” කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගුවන්ගමන් පාලකවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා ඇත.

වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමඟ තමන්ගේ බේරුම්කරණ නඩුවක් ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර සමාගම මේ තත්වය තුළ වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන්  පිටත්වම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් පැමිණිල්ලක් ගොනු කර තිබිණ.

එම පැමිනිල්ල විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගමට ලබන 16 වන දක්වා බලපැවැත්වෙන පරිදි ගුවන් ගමන් වාරණ නියෝගය නිකුත් කර තිබිණ.

එසේ තිබියදී නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝෂමකට අනුව මෙම පෙත්සම කැඳවන ලදී.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය අමතමින් සත්‍ය වසන් කොට අධිකරණය නොමග යවමින් පෙත්සම්කාර පාර්ශ්වය විසින් ලබා ගෙන ඇති මෙම වාරණ නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා සිටියේය.

මෙම නඩුව පසුගිය සිකුරාදා කැදවු අවස්ථාවේදී රජයට හෝ කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත වාරණ නියෝගයක් නිකුත් කර නොමැති බව විනිසුරු වරයා විසින් ප්‍රකාශ කර තිබුණත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ද සිල්වා මහතා අධිකරණයේ පිස්කල් නිලධාරියා සමග කටුනායක, අධි ආරක්ෂක කලාපයේ පිහිටි ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් රුසියානු ගුවන් යානය පිටත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව දැනුම් දුන්නේ කෙසේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රශ්න කළේය.

තම සේවාදායක ගුවන් ගමන් පාලකවරයා වෙත අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර නොමැති අවස්ථාවක නීතිඥවරයෙකු හා පිස්කල් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කලේ කෙසේදැයි ප්‍රශ්න කරමින් මේ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පිස්කල් නිලධාරියා සහ නීතිඥවරයා ගුවන් ගමන් පාලක මැදිරිය වෙත පැමිණි ආකාරය තහවුරු කිරීම සඳහා ජායාරූප 14 ක් අඩංගු සංයුක්ත තැටියක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසන කරුණු සත්‍යයක් නම් මෙම ක්‍රියාව හරහා තම අධිකරණයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් සිදුවී ඇතැයි පැවසු විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෙත සිය බලවත් අප්‍රසාදය පළ කළේය.

නීතිඥවරයා කර ඇත්තේ බරපතල වරදක් බවත් මෙම කරුණ බැහැර කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් පැවසු විනිසුරුවරයා නීතිඥවරයෙකුට මේ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්දන මහතා වැඩිදුරටත් කරුණු දැක්වමින් අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය හරහා සිවිල් ගුවන් සේවා පනතේ 37 වගන්තිය උල්ලංඝනය වන බවත් එම වගන්තිය හරහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගුවන් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මගින් පවරා දී ඇති බලතල උල්ලංඝනය වන්නේ යැයි පැවසීය.

මෙම වාරණ නියෝගය හරහා රාජ්‍ය  ප්‍රතිපත්ති උල්ලංගනය වීමක් සිදු වන බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එබැවින් අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය වහා අත් හිටුවන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිලිකාර අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව වාරණ නියෝගය අත්හිටුවීමට විනිසුරුවරයා නියම කළේය.