එමිල් රංජන්ට - රංගජීවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් අවවාදයක්


(මනෝප්‍රිය ගුණසේකර)

නඩු කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒවායේ සීමාවන් දැනගෙන කරුණු පවසන ලෙසත් එසේ නොවුණහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එහි විත්තිකරුවන්ට අවවාද කරමින් අද (26) දැනුම් දුන්නේය.

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්‍ෂෙත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණ මාධය හමුවේ කළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ දැනුම් දීමක් සළකා බැලු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට  එලෙස අවවාද කළේය.

මේ පිළිබඳව සාක්කි සහිතව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළ විනිසුරු මඩුල්ල වැලිකඩ රැඳවියන් ඝාතන නඩු විභාගයෙන් අනතුරුව ඒ පිළිබඳව පියවර ගන්නා බවද දැනුම් දුන්නේය.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්‍ෂෙත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ විත්තිකරුවන් දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදී ඇතැයි දැනුම් දුන්නේය.

ඔවුන් එලෙස කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇතැයිද ඔවුන් ඒ අවස්ථාවේදී කළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එලෙස අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සළකා බැලු විනිසුරු මඩුල්ල විත්තිකරුවන් මාධ්‍ය හමුවේ දැක්වු අදහස් වලින් අධිකරණයට අපහාස සිදුවී ඇති බව පැමිණිල්ලෙන් දැනුම් දී ඇතත් ඒ බව සනාථ කිරීමට මේ අවස්ථාවේදී විස්තර ඉදිරිපත් කොට නැතැයි සඳහන් කළේය.

එහෙයින් මේ පිළිබඳව සාක්කි සහිතව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළ විනිසුරු මඩුල්ල මෙම නඩු විභාගයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවද දැනුම් දුන්නේය.

මේ අවස්ථාවේදී විත්තිකරුවන් ඇමතූ විනිසුරු මඩුල්ල අධිකරණයන් හමුවේ විභාග කරන නඩු කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒවායේ සීමාවන් දැනගෙන කරුණු පවසන ලෙස විත්තිකරුවන්ට අවවාද කළේය.

නීතීයේ සීමාවන් තුළ සිට මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් නොකළහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත  කිරීමට පියවර ගන්නා බව විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට දැනුම් දුන්නේය.