එම්.සී.සී සමාලෝචන කමිටු වාර්තාව අගමැතිට භාරදෙයි


(ඩයනා උදයංගනී)

සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (එම්.සී.සී ගිවිසුම) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට භාරදීම අරලියගහ මන්දිරයේදී අද (24) පස්වරුවේ සිදුකෙරිණි.

එම කමිටුවේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා එම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාරදුන්නේය.

මෙම කමිටුව විසින් එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මාස 6ක කාලයක් අධ්‍යයනය කිරීමෙන් පසු තම නිර්දේශ ද සහිතව මෙම වාර්තාව සකස් කර ඇත.

එහිදී විවිධ ක්‍ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන තිබේ.

මෙම කමිටු වාර්තාව හෙට (25) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද භාරදීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයා විසින් මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ඇතිව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් මෙම කමිටුව පත්කරනු ලැබිණි.

ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර, ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් මෙහි සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.

මෙහිදී මෙම වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත ද භාරදෙනු ලැබිණි.