ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ යශෝරාව නැංවූ, යශෝරාවය නාට්‍ය මෙන්ම එහි චරිත අදටද ඔබ මතකයේ ඇතුවාට සැක නැත. ඊට එක් උදාහරණයක් ලෙස රත්නාලාලනී ජයකොඩි සඳහන් කළ හැකිය. එදා ඇය එහි රඟපෑවේ ”රංජනි” නම් වූ චරිතයකි. අදටද බොහෝ දෙනාට ඇය ගැන මතකය ඇත්තේ ඒ රංජනී නමිනි.
රත්නා ලාලනී පවුල් සමාගම ගැන කතා කරයි
|
එදා එලෙසින් රංජනී වූ ඇය වේදිකාව ඔස්සේ රංගනයට අවතීර්ණ වූ අපූරු ශිල්පිණියකි. වැනීසියේ වෙළෙන්දා වේදිකා නාට්‍යයෙන් එදා කරළියට පිවිසි ඇය ඉන් අනතුරුව මනමේ නාටකයේ (මනමේ කුමරිය ලෙස) සුබ සැන්දෑවක්, මායා දේවි ඇතුළු ශ්‍රී ලාංකීය වේදිකාවට දායාද වූ අපූර්වතම නාට්‍ය තිස්පහකට වඩා රංගනයෙන් දායක වී ඇත. රෝමය ගිනි ගනී ඇතුළු නාට්‍යය ගණනාවක රඟපෑම සඳහා සම්මාන ලද ඇය අද ද වේදිකාවට අමුත්තියක නොවේ.
”සඳ පළුවක් වී නුඹ වත්තෙන්
තරු කැට ඊ වට විසිරී ඇත්තෙත්
කෙටුවා වාගේ පුන් සඳ කැත්තෙන්
කෙටුවේ කැත්තේ නොකැපෙන පැත්තෙන්”
අද ද ඇය වේදිකාවට එලෙස අවතීර්ණ වන්නේ ”ගුරු තරුව” නාට්‍යය වෙතිනි. වේදිකා ශිල්පිණියකට තිබිය යුතු රැඟුම සහ ගැයුමින්ද ඇය පොහොසත් වීම, ඇය සතු අපූරු හැකියාවකි.
”අන්තිමට මම ටෙලි නාට්‍යයක රඟපෑවේ අජිත් ලොකුගේ කළ ”විහඟ ගීතයේ”. ඉන් පස්සේ අවුරුදු තුන-හතරක් යන කල් රඟපෑවේ නැහැ. ඒත් මේ අවුරුද්දේ දි ශ්‍රීයානි අමරසේන මහත්මියගේ ටෙලි නාට්‍යයක රඟපෑවා. එය ළඟදීම විකාශයට නියමිතයි.”
රත්නා සුපුරුදු ලාලිත්‍යය පෙරදැරිව විස්තර කියන්නට පටන් ගත්තාය. වේදිකා රංගනයේ යෙදුණ ද, ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්රයෙන් තරමක් දුරට ඈත් වන්නට හේතුව, ගුරුවෘත්තියේ නියැලීමය. කොළඹ රාජකිය විදුහලේ නාට්‍ය හා රංගකලාව විෂයය බාර ගුරුවරිය රත්නාය. ශ්රීයානිගෙ ටෙලි නාට්‍යයේ රඟපෑමට අමතරව, ස්වාධීන රසවාහිනිය ළඟදීම ගෙන එන ”සඳා” ටෙලි මාලාව සඳහා ද ඇය රංගනයෙන් එක්ව සිටින්නීය.
”ඒ නාට්‍යයේ කතාව හොඳයි. ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරන එහි මා රඟපාන්නෙ ”අරුන්දතී දෑල බණ්ඩාර” ලෙසයි. මම අරුන්දතී වෙද්දි මගේ සැමියා සම්පත් තෙන්නකෝන් සිටුමැදුර සහ සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත්‍රපටයේ මේ දිනවල රඟපානවා. සඳා නාට්‍යයේ රඟපාන එක එතරම් කාර්ය බහුල නැහැ. පුතාගේ සාමාන්‍ය පෙළ කටයුතුත් හමාරයි. ඒ වෙනකල් මම මොනවත් බාර ගත්තේ නැහැ. පුතා සාමාන්‍ය පෙළ ඉතා හොඳින් සමත් වුණා. දැන් වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරනවා. එයා ඉගෙන ගන්නෙත් රාජකීය විද්‍යාලයේමයි.”
රාජකිය විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කිරීම ඔබට ආඩම්බරයක්ද කියා අපි රත්නාගෙන් විමසීමු.
”ඔව්, මට ඒක ලොකු ගෞරවයක්” විදුහල්පතිවරු තිදෙනකු යටතේම වැඩ කරන්න ලැබුණා. ඒ අය මෙන්ම සමස්ත ගුරු මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය හරිම ඉහළයි.” එවිට ඇය කීවාය. සැබැවින්ම මේ කලා අංශයේ කටයුතු නිසාත්, සිසුන් එම අංශයෙන් සමස්ත ලංකා තරගවලට දායක වී ලබන ජයග්‍රහණ ගැනත්, ඇය සතුටින් පසුවන්නීය.
මේ ටීචර්ට උගන්වද්දි ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
”ඒ ප්‍රතිචාර නම් හරිම ඉහළයි. ළමයි ගොඩාක් ඒ කටයුතු අගය කරනවා. විෂය නිර්දේශයට ඇතුළත් ”තල මල පිපිලා” නාට්‍යයේ මහේෂිකා නමින් මා රඟපානවා. සමහර දවස්වලට ඒ නාට්‍ය නරඹන්න මම ළමයි ටික එක්කගෙන යනවා. එහෙම ගිහින් නාට්‍ය රඟපාද්දි, සමහර ළමයින්ට හරි පුදුමයි. මේ අපි එක්ක ආව ටීචර් ද රඟපාන්නේ කියලා? එහි මම රඟපාන්නෙ බටහිර තාලයට හුරු චරිතයක්. අසූව දශකයට අයත් ඇඳුම් තමයි එහිදී අඳින්නේ. එවිට ළමුන් මට කියන්නේ ඇයි ටීටර් ඔයිට වැඩිය ඒ චරිතයට ගැලපෙන නව තාලයේ විලාසිතා තියෙනවා නේද කියලයි. ඇත්තටම එයාලගෙ රසවින්දනය හරි ඉහළයි. සියල්ල ගැන හොඳට අවබෝධයක් වගේම අපි නොදකින පැති එයාලා දකිනවා. ඉගෙන ගනිද්දි වුණත් කලා විෂයය ඉගෙන ගන්නෙ හරිම උනන්දුවෙන්. සමහර විට අපි රඟපාන ශිල්පිනියක් නිසා ඒකත් ඊට හේතු වෙන්න ඇති. දෙමාපියන් පවා හරි උනන්දුයි. මගේ අනෙකුත් ගුරු මණ්ඩලය මෙම අංශයට ළමයි යොමු කරමින් මාව නිතර අගයනවා. ඇත්තටම රෝයල් එකේ දරුවන් ඉගෙනීමට දක්ෂ වගේම කලා අංශයේ වැඩවලටත් හරි දක්ෂයි”.
රත්නා තමා උගන්වන පාසල ගැන අභිමානයෙන් කතා කරන්නේ එලෙසිනි. මෙකී කටයුතු සියල්ල වෙනුවෙන් තමාට සැමියා සම්පත්ගෙන් නොමද සහායක් ලැබෙන බවත් ඇය කීවාය. සම්පත් දැන්වීම් අංශයේ නිර්මාණශීලී කටයුතුවලට අමතරව වේදිකා හා සිනමා නිර්මාණ ප්‍රදර්ශන කටයුතු සඳහා නිතර විදේශ සංචාරයන්හි නිරත වෙයි.
තරුණ වයසේදීම ලොකු පුතෙකුගේ මවක වීම ගැන ඇය හිතන්නේ කොහොමද? ඒ ගැනත් අපි විමසීමු.
ඇත්තටම මේ පුතා උපන්නෙ 95 අවුරුද්දේ. ඊට පෙර 92 දී උපන්න පුතා නැති වුණා. ඇත්තටම මේ පුතා ඉතින් අනෙක් සෑම දෙමාපියන්ටම වගේ අපටත් ලොකු සම්පතක්. පුතා හරි ස්වාධීන චරිතයක්. එයාගෙ ස්ව උත්සාහය මත නැගී සිටින්න ආසයි. රඟපාලා නම් නැහැ. ඒත් සංගීතයට දක්ෂයි. සමහර විට කවදා හරි එයා සංගීත අධ්යක්ෂණ කටයුතු කරාවි කියලා මම හිතනවා. පුතා අඩි 6යි අඟල් 2ක් උසයි. ඒ උස ප්‍රයෝජනයට අරගෙන ක්‍රීඩා කරාවි කියලත් හිතුවා. ඒත් එයා විභාගයට තමයි ප්‍රධානව මුල් තැන දුන්නෙ.
එලෙසින් පුතු ගැන සෙනෙහසින් කතා කරන රත්නාගේ වේදිකා නාට්‍ය දිවිය ගැන කතා නොකළොත් ලොකු අඩුවක් වේවි. ඒ නිසා ඒ ගැනත් අපි විමසීමු.
”අබිනයන” කියලා අපි නාට්‍ය උළෙලක් කරන්න සූදානම් වුණත් එය කල් ගියා. ඒත් සුබ සැන්දෑවක්, පුත්‍ර සමාගම, මායාදේවි වැනි පැරණි නාට්‍ය නැවත නිර්මාණය වෙනවා. දැන් ඒවාට ලැහැස්ති වෙනවා. ඒ අතරේ අපි කොහොමටත්, නාට්‍ය, ගීත, ජවනිකා ප්‍රසංග කරගෙන යනවා. දිද්දෙණිය, රොඞ්නි වර්ණකුල සහ තව කීපදෙනෙක් එකතුව එය කරන්නේ නාට්‍ය, ගීත රසයේ අපූර්වත්වය පේ්රක්ෂකයාට දීම සඳහායි.
ගුරුවරියක සහ නාට්‍ය වේදිණියක ලෙස රත්නාගේ ජීවිතය ගෙවෙන්නේ එලෙසිනි. ඒ ගෙවෙන ජීවිතයට සම්පත් ලැබීම ඇය ගත් නිවැරදි තීරණයක් බව ඇය පැවසීය.
මේ සියල්ල අතරේ රත්නාගේ පරපුරේ, ගීතා කාන්ති අක්කා, බිමල් ජයකොඩි පුතා, රශීපබා දියණිය ඇතුළු මේ පවුලේ කලා පිරිවර එකතු වී නිර්මාණයක් කළොත් හොඳයි නේද? අවසන අපි ඇයගෙන් විමසීමු.
”ඇත්තටම එහෙම අදහසක් නම් තියෙනවා තමයි. අපේ ගීතා අක්කා, මම, සම්පත්ට අමතරව පබා දුව සහ බිමල් පුතා ඇත්තටම රංගනයට හරි දක්ෂයි. ඊට අමතරව බිමල්ගෙ මල්ලි එරන්ද සංගීත නිර්මාණකරුවෙක්. අපේ පොඩි අයියගෙ පුතා රංග අමල්, වේෂ නිරූපන ශිල්පියෙක්. දැන් අපේ පවුලට එක්ව සිටින සුජානි මේනකා දුවත් (බිමල්ගෙ බිරිඳ) හොඳම දරුවෙක්. එයා ගැනත් අපට ආඩම්බරයි. අපි හැමෝම එකතු වෙන්නේ ඉතිං තෙල් ගාන අවුරුද්දට තමයි. එදාට අයියලගෙ ගෙදරට කට්ටියම එනවා. පුංචි සංගීතයකුත් පවත්වනවා. සුජානි සිංදු කියන්න ලැජ්ජයි. ඒත් ඉතිං එදාට අපි එයාවත් කොහොම හරි වැඬේට දායක කරවා ගන්නවා.
ඡායාරූප/සටහන - සඳුන් ගමගේ
|