එක්දින සේවාවෙන් පැය 4ක දී හැඳුනුම්පතක්


(දසුන් රාජපක්ෂ) 

පැය හතරක කාලයක් තුළදී එක් දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ සේවාව මගින් හැඳුනුම්පත නිකුත් කරන වේලාව මෙම ක්‍රමවේදය යටතේ දැනුම්දෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද (21) පැවසීය.

මෙම සේවාව නිසා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට පෝලිම්වල සිට අපහසුතාවයන්ට මුහුණ දෙමින් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සිටීමට අවශ්‍ය නොවන බව ද වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

එක් දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට දිනකට පුද්ගලයන් 150 ක් අධික පිරිසක් පැමිණෙන අතර ඒ හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ඇති වන අධික තදබදය මෙම සේවාව නිසා නැති වන බවද ඒ මහතා කීය.