එ.ජා. මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ලංකාව ගැන වාචික කරුණු දැක්වීමක්


(තිළිණි ද සිල්වා)
 
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයේදී එහි මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය අද (27) දිනයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීමට නියමිතව ඇත. 
 
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ දී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය පැවැත්වෙනු ඇත.
 
මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කරුණු දැක්වීමෙන් අනතුරුව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට ද නියමිත ය.
 
මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වූ යෝජනාවලින් ඉවත් වන බව ඊයේ නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවේය. 
 
එහිදී විදේශ සබඳතා අමාත්‍යවරයා සඳහන් කළේ 30/1 සහ 40/1 යෝජනාවලට ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. 
 
කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාල යෝජනා සදහා සම අනුග්‍රහය දැක්වීම තුළින් පසුගිය රජය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කර ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
 
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැච්ලට් මහත්මිය සහ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට(27) දිනයේ පැවැත්විමට නියමිතව ඇත.